Wednesday, October 23, 2024
Follow Us
රටවල් 4කින් ඇහැලියගොඩ ඩොලර් විශාල ප්‍රමාණයක්

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

ඊයේ (11) පස්වරුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළාය. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.


ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි.

දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය පෙන්වා දුන්නාය.