Wednesday, October 23, 2024
Follow Us
2025 දී ලංගම ලාභ ලබන්න ගත් තීරණය

අර්බුද ජයගැනීම සඳහා 2025 වසර වන විට දිවයිනේ සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඒ වෙනුවෙන් සෑම ආයතනයකටම ඉලක්කයක් ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
"දීර්ඝ කාලයක් තිස්සේ අලාභ ලබමින් පවත්වාගෙන යෑම හේතුවෙන් ලංගම, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය කඩා වැටීමකට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය තුළ නව බස් රථ ලබා ගැනීමට හෝ අනෙකුත් අවශ්‍යතා වලට වෙන් කිරීමට ප්‍රාග්ධන හැකියාවක් නැහැ. එමෙන්ම පවතින තත්ත්වය තුළ තවදුරටත් ණයට ප්‍රාග්ධන වත්කම් ලබා ගැනීමේ හැකියාවක් ද අපේ රටට නැහැ. එමෙන්ම මාර්ග සංවර්ධන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු සඳහා ලැබුණු විදේශීය ණය ආධාර ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම පහසුකම් නැවත ලබා ගැනීම සඳහා අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු රට තවත් අඟලක් හෝ ඉදිරියට ගෙන යෑමට හැකියාවක් පවතින්නේ නැහැ. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව, ජපානය, ප්‍රංශය ඇතුළු මිත්‍ර රටවල් සමග සහයෝගයෙන් විශේෂ සාකච්ඡා මාලාවක් මේ වන විට පවත්වාගෙන යනවා. පවතින මෙම අර්බුදයේ යථාර්ථය ජනතාව මෙන්ම අප සියලු දෙනාම මැනවින් අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා වඩාත් ඵලදායි ලෙසත් කාර්යක්ෂමවත් වැඩි වැඩියෙන් වැඩ කිරීමට අප සියලු දෙනාටම සිදුවනවා. පවතින තත්වය යටතේ මෙම අර්බුද ජයගැනීම සඳහා 2025 වසර වන විට දිවයිනේ සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් සෑම ආයතනයකටම ඉලක්කයක් ලබා දෙනවා. සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වැලැක්වීම සඳහා තවත් මාස දෙකක් වෙත ටිකට් පත් නිකුත් කිරීම, වෙන් කර ගැනීම ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල කෙරෙමින් පවතිනවා. වඩාත් කාර්යක්ෂමව කටයුතු කරමින් සිය ආදායම ඉහළ නංවා ගන්නා ඩිපෝ වලට සිය අදායමින් නව බස් රථ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදීමට නුදුරේදීම කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා. නිසි ප්‍රතිපත්තියක් නොමැති කමින් බොහෝ සංවර්ධන සංකල්පයෙන් වල නිසි ප්‍රතිඵල අනාගත පරපුරට ලබා දීමේ හැකියාව අහිමි ව තිබෙනවා. රටක් ලෙස ඉදිරියට යෑමට නම් කවුරුන් විසින් ආරම්භ කරනු ලැබුවත් යහපත් දේ ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා කටයුතු කරමින් රට වෙනුවෙන් කැප වන්නට අප සැම අධිෂ්ඨාන කර ගත යුතුයි"