Thursday, October 24, 2024
Follow Us
මෙරටට යුරෝපා සංචාරකයින් ගේ පැමිණීමේ අඩුවක්

යුරෝපා රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ලෝක සංචාරක සංවිධානයේ දත්තවලට අනුව එම තත්ත්වය දකුණු ආසියානු කළාපයේ අනෙකුත් රටවල්වලට ද බලපා ඇති බවයි.

කෙසේවෙතත් ලබන ජනවාරි මාසයේදී මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින්ගේ වර්ධනයක් පැවතිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

මෙම මාසය තුළ දෛනිකව විදෙස් සංචාරකයින් 2,200 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණෙනවා. ඒ අනුව දෙසැම්බර් 08 වනදා දක්වා විදෙස් සංචාරකයින් 17,000 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

විදෙස් සංචාරකයින් වෙනුවෙන් රට තුළ ප්‍රමාණවත් අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම මහත් පාඩුවක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දුන්නේ.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුවන බැවින් විදෙස් සංචාරකයින් යාපනයට රැගෙනයාමේ ගැටළුවක් ද මතුව තිබෙනවා.

ඒ අනුව රත්මලානේ සිට පළාලි දක්වා විදෙස් සංචාරකයින් ගුවන් මඟින් රැගෙන යාමට අවධානය යොමුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Neth