Friday, October 25, 2024
Follow Us
බැංකු ණය පොලිය 4%කින් ඉහළ ගිහින්

ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතය 32% ක් දක්වා ඉහළට


සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ණය පොලී අනුපාත 4% ක ප්‍රතිශතයකින් යළි ඉහළ දමා තිබේ.

එම නිසා ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතය 32% ක් වැනි ඉහළ මට්ටමකට පැමිණ ඇති බව බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පෞද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පැවැති නමුත් ණය නිකුත් කිරීම සඳහා පවතින කොන්දේසි දැඩි කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර බැංකු පොලී අනුපාත විශාල ලෙස ඉහළ යෑමත් සමග සමස්ත බැංකු පද්ධතියේ ආපසු නොගෙවන ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මහ බැංකු වාර්තාවන්ට අනුව තුන්වන මට්ටමේ නොගෙවා පහර හැර ඇති ණය ප්‍රතිශතය මේ වන විට 10% ඉක්මවා ඇත. එම අගය 2021 වර්ෂය අවසන් වන විට පැවතියේ 7.6% ක් ලෙසය.

මෙම ණය අර්බුදය පිළිබඳව ‘අරුණ’ සමග අදහස් පළකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ මෑතකදි සම්මත කරගන්නා ලද නව ආදායම් බදු සංශෝධනයක් සහ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසර (2023) පළමු කාර්තුව අවසන් වන විට ජනතාව විසින් නොගෙවා පැහැරහරින ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනු ඇති බවයි.

“මිනිසුන් මුලින්ම බලන්නේ තමන්ගේ මූලික වියදම් දිහා. නව බදු නිසා ඒවායින් බලපෑමට ලක්වන මිනිස්සුන්ට පැහැර හරින්න සිද්ධවෙන්නේ තමන්ගේ ණය” යැයි ආචාර්ය දුනුසිංහ පෙන්වා දුන්නේය.

Aruna