Friday, October 25, 2024
Follow Us
ලංකාවේ භාණ්ඩ ආනයනයන්හි පහත වැටීමේ ප්‍රවණතාව තවදුරටත්!

2022 සැප්තැම්බර් මස වන විට පෙර මස දක්නට ලැබු ඩොලර් බිලියන 1.48 ක ආනයනයට වඩා අඩු ආනයනයක් දක්නට ලැබුණු අතර ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.28 ක් බවට අනාවරණය විය. කෙසේ වෙතත් 2022 ජූනි මාසයේ මෙසේ දැක්වුණු ඩොලර් බිලියන 1.22 අගය මෙම වසරේ මේතාක් වාර්තා වූ අඩුම අගය වන අතර විදේශ විනිමය අර්බුදය හමුවේ එම අගය තවදුරටත් පහත වැටීමට ඉඩක් ඇති බවට එය තහවුරු කිරීමකි.

ඉකුත් වසරවලදී COVID-19 වසංගතයේ ක්ෂණික බලපෑම ලෙස අඩුම ආනයන අගය වාර්තා වූයේ 2020 මැයි මාසයේදී වන අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 994 කි.

තවද වාර්ෂික පදනමින් ගත් කල අඛණ්ඩව හත්වන මාසයටත් ආනයන වියදම් පහත වැටුණු බව මහ බැංකුව අනාවරණය කරන අතර මුල් මාස ​​නවය තුළ ආනයන ඩොලර් බිලියන 14 දක්වා 5.7% කින් අඩු වන බව මහ බැංකුව විසින් තවදුරටත් කියාසිටියේය.

ප්‍රධාන වශයෙන් ආනයන සංකෝචනය කිරීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස ආයෝජන භාණ්ඩ (-54% කින් ඩොලර් මිලියන 169 දක්වා) සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ (60% කින් ඩොලර් මිලියන 80 දක්වා) වල සැප්තැම්බර් මාසයේදී ආනයන වියදම්වල අඩුවීමක් දක්නට ලැබුණු බව මහ බැංකුව කියා සිටියි.

කෙසේ වෙතත්, අතරමැදි භාණ්ඩ ආනයනය (7.7% කින් ඩොලර් මිලියන 913 දක්වා) සහ ආහාර පාන ආනයනය 11% කින් ඩොලර් මිලියන 121 දක්වාත් ඉහළ ගොස් ඇත.

2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසය වන විට ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සඳහා වූ අඩු වියදම් හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන වියදම 35.3% කින් ඩොලර් මිලියන 201 ක් දක්වා අඩු වී ඇති අතර වෛද්‍ය සහ ඖෂධ (ප්‍රධාන වශයෙන් එන්නත් සඳහා වන ඉහළ වියදම්), ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන වැනි විදුලි පණිවිඩ උපාංග සහ ගෘහ උපකරණ වැනි අමතර ආනයනයන්හි කැපී පෙනෙන පහත වැටීමක්, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සඳහා වන ආනයන වියදම් වල පහත වැටීම හේතුවෙන් නිර්මාණය වී ඇත.

ප්‍රධාන වශයෙන් සීනි සහ ධාන්‍ය සහ ඇඹරුම් කර්මාන්ත නිෂ්පාදනයන් හී(මූලික වශයෙන් සහල්) ආනයන පරිමාවේ වැඩිවීමත් සමඟ 2022 සැප්තැම්බර් මාසයේදී ආහාර පාන ආනයනය සඳහා වන වියදම ඩොලර් මිලියන 121 දක්වා 10.7% කින් වැඩි විය.

තවද කුළුබඩු සහ පාන වර්ග ආනයනය ද යම් ප්‍රමාණයකට වැඩිදියුණු වු අතර ඊට ප්‍රතිවිරුද්ධව කිරි නිෂ්පාදන (ප්‍රධාන වශයෙන් කිරිපිටි), තෙල් සහ මේද (ප්‍රධාන වශයෙන් පොල්තෙල්), මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන් කරවල), පලතුරු සහ එළවළු සඳහා වන වියදම 2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේදී අඩු විය. එය බොහෝ දුරට අඩු ආනයන පරිමාවන් වලින් මෙහෙයවනු ලැබීය.

මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි 2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා වන වියදම 2022 සැප්තැම්බර් මාසයේදී 7.7% කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන ආනයනය මගින් නිර්මාණය වූ එම සැලකිය යුතු වර්ධනය මෙම ඉහළ යාමට දායක විය.

2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ආනයන පරිමාවන් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් 2022 සැප්තැම්බර් මාසයේදී බොරතෙල්, පිරිපහදු කළ පෙට්‍රෝලියම් සහ ගල් අඟුරු ඇතුළත් ඉන්ධන සඳහා වන වියදම ඩොලර් මිලියන 376.4 දක්වා 87.3% කින් වැඩි විය.

ඒ අනුව 2022 ජූනි මාසයේ සිට ගල් අඟුරු ආනයන පරිමාව දිගටම ආන්තික මට්ටම්වල පැවතුණි.

තවද 2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේදී දියමන්ති, ලෝහ (මූලික වශයෙන් කාර්මික දියමන්ති) සහ පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) ආනයන වියදම් ද ඉහළ ගොස් ඇත.

මේ අතර යකඩ හා වානේ වැනි මූලික ලෝහ, රෙදිපිළි සහ රෙදිපිළි භාණ්ඩ, වාහන සහ යන්ත්‍රෝපකරණ කොටස් (ප්‍රධාන වශයෙන් මෝටර් වාහන කොටස්), මේදය,තෙල්,තිරිඟු සහ බඩ ඉරිඟු වැනි බොහෝ අතරමැදි භාණ්ඩයන්හී කැපී පෙනෙන පහත වැටීමක් දක්නට ලැබුණු බව වැඩිදුරටත් කියාසිටියේය

LNW