Friday, October 25, 2024
Follow Us
මහ බැංකුවෙන් සුබ පණිවිඩයක්

2022 වර්ෂයේ දෙවැනි භාගයේ මේ දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වසරේ මුල් භාගයේ දී දැඩි බාධක වලට සහ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් ආර්ථිකය මැදි කාලීනව ස්ථාවර හා තිරසාර වර්ධන මාවතක් කරා මෙහෙය වීමේ අරමුණින් සිදු කළ බහුවිධාකාරී ප්‍රතිපත්තිමය මැදිහත් වීම ඊට හේතුවයි.

මෑත කාලීන ආර්ථික ප්‍රවනතා 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී. උද්ධමන අපේක්ෂා ඉහළ යාමට ඇති හැකියාව වැළැක්වීමට සහ ඉල්ලුම මත පදනම් වූ පීඩන දිගින් දිගටම පැවතීම අවම කිරීමට 2021 වසරේ අගෝස්තු මාසයේ ආරම්භ කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 2022 වසරේ මේ දක්වා කාල පරිච්ඡේදය තුළ වේගවත් කර තිබේ. එම ක්‍රියාමාර්ග වල සහාය මෙන්ම සැපයුම් අංශයේ පීඩනය ලිහිල් වීම හේතුවෙන් 2022 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය අපේක්ෂිත අඩු උද්ධමනකාරී ගමන් මග හා අනුකූල ව පහළ යාම ආරම්භ විය.

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග වෙළෙඳපොළ වෙත සම්ප්‍රේශනය වීම අඛණ්ඩව පැවති දැඩි ද්‍රවශීලතාව තත්වය හේතුවෙන් වෙළද පොළ පොලී අනුපාත කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. රාජ්‍ය ආදායම පහළ යාම සහ විදේශීය මූල්‍ය මූලාශ්‍රය සඳහා වන සීමිත ප්‍රවේශය මධ්‍යයේ බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ආර්ථික ස්ථාවර සහ වඩාත් තිරසාර පදනමක් වෙත රැගෙන යාමට සහය සැලසීමේ අරමුණින් රජය බදු සහ බදු නොවන ආදායම් ඉහළ නැංවීම සඳහා පියවර රැසක් හඳුන්වා දෙනු ලැබීය. පහළ මට්ටමක පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑත මාස වල යම් වර්ධනයක් පෙන්නුම් කර තිබේ. සංචාරක ඉපැයුම් වලද ප්‍රගතියක් ද වාර්තා විය.

සැප්තැම්බර මුල් කාලයේදී විස්තීරණ ණය පහසුකම් පිළිබද නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීමත් සමග ආර්ථික ගැලුම් වැඩසටහන් සඳහා අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සිදුකරන කටයුතු බොහෝ අංශවලින් ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද සාර්ථක අදියරකට පැමිණ ඇති පසුබිමක, 2023 වසරේ අග භාගයේ සිට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.10

LNW