Friday, October 25, 2024
Follow Us
නව බදු නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැඩි අර්බුදයකට

ආණ්ඩුව විසින් අය කරන බදු ප්‍රමාණයන් ඉහළ නංවනු ලැබීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව එම ව්‍යාපාරිකයින් පවසනවා. ඔවුන් සඳහන් කළේ උද්ධමනය වැඩි වීම හා ආනයන සීමා හේතුවෙන් දැනටමත් තම කර්මාන්ත ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වී ඇති බවයි.

එවන් පසුබිමක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අයකරන බදු ඉහළ යාම හමුවේ සිය කර්මාන්ත ඉදිරියට සිදු කරගෙන යාම තවදුරටත් අර්බුදයකට හෙළන බවයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ.

මෙවර බදු පැනවීමේදී කිසිඳු විනිවිදභාවයක් දක්නට නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ආණ්ඩුව මෙලෙස නව බදු පනවා ඇත්තේ දේශීය ආදායම් පනතට ගෙන එන නව සංශෝධන හරහායි. ඒ ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට පමණක් නොව නිෂ්පාදන සහ අපනයන ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ ආදායම් බදු ද ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනයක ලාභයට පනවා තිබූ සියයට 14ක බද්ද සියයට 30ක් දක්වා ඉහළ යනු ඇති.

අපනයන ව්‍යාපාරික ආයතනවල ලාභය මත පනවා තිබූ බද්ද ඉහළ නංවා ඇත්තේ සියයට 14 සිට සියයට 30ක් දක්වායි. නිෂ්පාදන ආයතන විසින් ද උපයනු ලබන ලාභය සඳහා වූ සියයට 18ක බදු ප්‍රතිශතය සියයට 30ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ අතර බාහිර පුද්ගලයෙකු යම් ආයතනයක ඉගැන්වීම්, දේශන, විභාග පැවැත්වීම්, විභාග අධීක්ෂණ කටයුතු වැනි සේවා සැපයීම හරහා අදාළ ආයතනය මාසයකට රුපියල් ලක්ෂය ඉක්මවන මුදලක් උපයන්නේ නම් එම මුදලින් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය වෛද්‍ය, ඉංජිනේරු, වරලත් ගණකාධිකාරි, නීතීඥ, හා මෘදුකාංග යන ක්ෂේත්‍රවලට අයත් පුද්ගලයින්ටද බලපානු ඇති. එහිදී එවැනි වෘත්තියක නියැලෙන අයෙකු කිසියම් හෝ ආයතනයකට සේවා ලබාදෙන්නේ නම් එහිදී උපයන ආදායම මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් එැවැනි පුද්ගලයින්ටද සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් පනවන බවට ද වාර්තා වනවා.

Neth