Friday, October 25, 2024
Follow Us
තමන් මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිව සිටි බව නන්දලාල්ට අමතක වෙලාද ?

2021 වසරට පෙර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවල “විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ” වශයෙන් සටහන්ව ඇති අගයයන් වැරදි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මහබැංකු අධිපති ධුරයට පත්වූ දිනයේ සිටම තමන් පමණක් සුධීමතෙකු වශයෙනුත් සෙසු සියල්ලන්ම වැරදිකරුවන් වශයෙනුත් හඟවමින් අධි රංගනයක නියැළෙන නන්දලාල් වීරසිංහ මහතාට මෙහිදී යමක් අමතක වී ඇති බව පෙනේ.

ඒ, 2011 වසරේ සිට 2020 වසර දක්වා තමන් ද ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වශයෙන් කටයුතු කළ බවයි.

සාමාන්‍යයෙන් මෙකී සංඛ්‍යා දත්ත වාර්තාවන් පිළිබඳව කටයුතු කළයුතු වන්නේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ය. ඒ අනුව 2021ට පෙර විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සම්බන්ධයෙන් මහබැංකුව ඉදිරිපත් කර ඇති දත්ත වැරදි නම් එහි වගකීම භාරගත යුතුවන්නේත් එවකට මහබැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාම ය.

නන්දලාල් වීරසිංහ මහතා දැන් කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ඔහු තමන් ඕස්ට්‍රේලියානුවෙකු වශයෙන් ඕස්ට්‍රේලියාවේම ඉපිද, ඕස්ට්‍රේලියානු මහබැංකුවේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී ශ්‍රී ලංකාව කියා කුඩා රටක ජනාධිපතිවරයකු පුද්ගලිකවම කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා මහබැංකු අධිපති ධුරය භාරගත්තේ යැයි සිතාගෙන සිටින බවකි.

“වැඩ කරන විරුවෙකු” නිසා හොඳටෝම විඳවූ රටකට දෙවැනි වැඩ කරන විරුවා වශයෙන් පෙනී සිටින, ඒ මනෝභාවයෙන් පෙළෙන තවත් අයෙකු සිටීම යනු රටේ විනාශය සඳහා ඕනෑවටත් වැඩි මට්ටමේ කරුණකි.

LNW