Saturday, October 26, 2024
Follow Us
ණය අවශ්‍ය නම් පළමුව වැඩපිළිවෙල කියන්න - IMF ශ්‍රී ලංකාවට කියයි

ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බවයි.

ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ආර්ථික පදනමක් සකස් විය යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පෙන්වා දී ඇත්තේ. වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටී ඇති බවත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරන්තරයෙන් සූදානමින් සිටින බවත්, ඇය පවසා තිබෙනවා.

ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා වැඩිදුරටත් පවසා ඇත්තේ.

ලෝක බැංකුව ද ඉකුත්දා නිවේදනය කර තිබුණේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රී ලංකාවට මුළ්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බවයි. ඒ ඒ අවස්ථාවන්වලදී මතුවන තත්ත්වයන් මගහරවා ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග ගැණුනද සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් හදුන්වාදීමට රජය මෙතෙක් සමත්වී නොමැති බව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂකයින් ද පෙන්වා දුන්නා.

Neth