Saturday, October 26, 2024
Follow Us
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 33යි - ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 45ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිළ දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 33යි දශම 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉකුත් මාර්තු මාසයේ පැවති උද්ධමන අගය වූ සියයට 21යි දශම 05හේ සිටයි. මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතම වල මිළ ගණන්හි සිදු වූ මාසික ඉහළ යාම් හේතු වූ බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 29යි දශම 05හේ සිට අටප්්‍රල් මාසයේ දී සියයට 45යි දශම 01ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 14යි දශම 05හේ සිට අප්‍රේල් මාසයේ දී සියයට 23යි දශම 09ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සහල්, කිරිපිටි, පිරිප්පු, සීනි, පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන, ගෑස්, නිවාස කුලී, සෞඛ්‍ය, ගොඩනැගිලි ද්‍රව්‍ය යනාදී අයිතමවල මිළ ගණන් ඉහළ යාම මීට බලපා තිබෙනවා.

එමෙන්ම වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 10යි දශම 06 සිට පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.

(Neth)