Sunday, October 27, 2024
Follow Us
මෙරට ආර්ථිකයට එල්ලවිය හැකි මරු පහරක් ගැන විශේෂඥයින් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් රටවල් දරණ මතය තවදුරටත් පහත වැටුනහොත් මෙරට ආර්ථිකයට එය මරු පහරක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා නිකුත් කළ අනතුරු ඇගවීම පිළිබඳ අදහස් දක්වමින්.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව තුළ ඉන්ධන හා ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද හිගවී ඇති බවයි. රට පුරා පවතින විරෝධතා සම්බන්ධයෙන් ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් අමෙරිකානුවන්ට දැනුම් දීමක් සිදුකර තිබුණා.

මෙම තත්ත්වය කිසිසේත්ම මෙරට සංචාරක ව්‍යාපාරයට සුබ තත්ත්වයක් නොවන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ.

දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් යුරෝපය ඇතුළු සංචාරකයින් වැඩිවශයෙන් පැමිණෙන රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින් තවදුරටත් අඩුවිය හැකි බවද මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බවයි යුරෝපා සංගමය ඊයේ නිවේදනය කළේ. ඒ, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ බි්‍රතාන්‍ය යන රටවල් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින්.

(Neth)