Sunday, October 27, 2024
Follow Us
IMF යන්න මුදල් ඇමතිවරයෙකු සොයාගත යුතු අවසන් දිනය අද

ඩොලර් ගෙවා ගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 52 ක් ගෙවා ඇතැයි වාර්තා වනවා. එම නෞකාවෙන් මෙරටට රැගෙන ආ ඩීසල් තොගය මෙට්ට්‍රික් ටොන් 37,500 ක්. එම ඩීසල් තොගය අද පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කිරීමෙන් පසු කඩිනමින් ඩීසල් තොග පිරවුම්හල් වෙත බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.

මෙම නෞකාව මෙරටට ළඟාවී ඇත්තේ ඉකුත් මාර්තු මස 28 වැනිදා බවටයි වාර්තා පළ වුණේ. එහෙත් මෙතරම් දිනයක් නෞකාවේ ඉන්ධන නිදහස් කර ගැනීමට නොහැකි වූයේ ඩොලර් නොමැති වීම හේතුවෙන්.

මේ අතර මෙම වසරේ මාර්තු මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.93 ක් බව මහ බැංකුව පවසනවා. එය ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 16.1 ක පහළ යාමක්. පෙබරවාරි මාසයේ මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක් ලෙසයි පැවතුණේ.

මෙරට විදේශ විනිමය සංචිතය ද ඩොලර් බිලියන 2.02 සිට ඉකුත් මාර්තු මාසය වන විට 1.72 ක් දක්වා පහත බැස තිබෙනවා. පෙබරවාරි මාසයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 98 ක රන් සංචිතය මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 28 ක් දක්වා අඩුවී ඇත්තේ සියයට 70 ක පහළ යාමක් සටහන් කරමින්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කේ එම් එම් සිරිවර්ධන ඊයේ සිය පත්වීම් ලිපි භාර ගත්තා.

මූල්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුරු දැරූ අයෙක්.

මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ එම් එම් සිරිවර්ධන ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ මූල්‍ය උපදේශකවරයෙකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ සතියේ සාකච්ඡා ආරම්භ නොකළහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදුකළ නොහැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද දිනය තුළ මුදල් අමාත්‍යවරුයෙකු ඇතුලු අදාළ පත්කිරීම් සිදු කළ යුතුව ඇති බවටයි වාර්තා පළ වන්නේ.
(Neth)