Sunday, October 27, 2024
Follow Us
ආර්ථික අර්බුදයට උත්තර නැහැ - ඩොලරයත් 319 පනී

දේශපාලන අර්බුදයට තවමත් ස්ථිර විසඳුමක් නොමැති පසුබිමක ආර්ථිකය ද තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ඇදවැටෙමින් තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්. මහ බැංකුව මගින් අද දිනයේ ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319 යි ශත 99 ක් ලෙස දැක්වුණා.

එය මෙරට ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයකට වාර්තා වූ ඉහළම විකුණුම් අගයයි. අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද සටහන් වූයේ රුපියල් 309 යි ශත 38 ක් ලෙසයි.

මේ අතර ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදයට මේවනතෙක් ස්ථීර විසඳුමක් ලැබී නැහැ. අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණේ ඒ හේතුවෙන්. රථවාහන පෝළිම්වලට අමතරව කොළඹ, මරදාන හා බොරැල්ල ආදී ප්‍රදේශවල ජනතාව අද දිගු පෝළිම්වල රැඳී සිටියේ භූමිතෙල් ලබාගැනීමේ අරමුණින්.

මේ අතර ලබන සෙනසුරාදා පැය 02 ක කාලයක් ද, ලබන ඉරිදා පැයක කාලයක් ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මේ අතර ලබන අප්‍රේල් 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අද නිවේදනය කළා. මෙවර අවුරුදු නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 13 වනදායි. ඒ අනුව අප්‍රේල් 09 වනදා සිට 17 වනදා දක්වා දින 09 ක් නිවාඩු දින බවට පත්වනු ඇති.

(Neth)