Wednesday, December 25, 2024
Follow Us
ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්ද ඇතුළත් විය යුතුය - නීතිඥ චමින්ද්‍රි සපරමාදු

ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම සඳහා විවිධ ආණ්ඩු, විවිධ පරිශ්‍රම දරා ඇති බව ඉතිහාසය පුරා අපි දැක ඇත්තෙමු. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ නීති ප්‍රතිසංස්කරණ මගින් මේ සම්බන්ධ නොයක් මැදිහත්වීම් විවිධ කාලවකවානුවල සිදු කර ඇත. එසේම, මේ පිළිබඳ පවත්වන ලද සාකච්ඡා සම්මන්ත්‍රණවල ද නිමක් නැත. බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වන මෙම මැදිහත්වීම් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන් සහ, එකී සංකල්පයන් මත පදනම් වූ, නීති ප්‍රතිසංස්කරණ සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට සීමා වූ බව විශේෂයෙන් සඳහන් කළයුතු නොවේ. බොහොමයක් ප්‍රතිසංස්කරණ මගින් පුද්ගල නිදහස ශක්තිමත් කිරීම දේශපාලන සහ සිවිල් අයිතීන් ශක්තිමත් කිරීම සහ රජය තුළ විවිධ ජාතීන්ගේ පදනම ව්‍යාප්ත කිරීම සඳහා අවධානය යොමු විය.

රටේ පුරවැසියන්ගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වලට සමගාමීව ඉදිරියට ගමන් කළයුතු ආර්ථික හා සමාජයීය බල ගැන්වීම් මේ සඳහා මැදිහත් වීම සුබසාධක රාජ්‍යයන්ට (Welfare State) අයත් අංගයක් ලෙස දකින බොහෝ ලිබරල්වාදීහු මෙම මැදිහත්වීම් මගින් රාජ්‍යයේ ස්වරූපය ලිබරල් රාජ්‍ය ස්වරූපයකින් වෙනත් දිශාවකට පරිවර්තනය වේ යැයි තර්ක ඉදිරිපත් කරන්නේය. මෙම අනවශ්‍ය භීතිකාව නිසාම ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලගැන්වීමට රජයේ මැදිහත්වීම් අනවශ්‍ය බව ද ඔවුහු විශ්වාස කරති.

1948 වසරේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී සම්මත වූ ‘මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය’ (Universal Declaration of Human Rights) මගින් ප්‍රථම වරට ආර්ථික හා සමාජ අයිතිවාසිකම් පිළිගැනීමේ අවශ්‍යතාව ලොවට ඉදිරිපත් විය. මෙම සම්මුතියේ පරිච්ඡේද කීපයක්ම හරහා සේවක අයිතිවාසිකම්, අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, පවුල් අයිතිවාසිකම්, විවිධ සංස්කෘතික අයිතිවාසිකම් යනාදිය පිළිගැනීමට ලක් වී තිබේ.

1966 වර්ෂයේ ඉදිරිපත් කොට 1976 වර්ෂයේ සිට බලාත්මක වූ ‘ ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ (International Covenanton on Economic, Social and Cultural Rights) මගින් ද, ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් රාශියක්ම ලොවට ඉදිරිපත් කර ඇති අතර, එහි දෙවන පරිච්ඡේදය මගින් එම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන සියලු රාජ්‍යයන්ට තනි තනිව හෝ සාමූහිකව ඇති උපරිම සම්පත් ප්‍රමාණයට අනුව එම ප්‍රඥප්තියේ ඇති සියලු ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතීන් ක්‍රමානුකූලව ලබාගැනීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ඇතුළු සියලු පියවර ගැනීම අනිවාර්ය කර ඇත. ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවකු වන්නේ 1980 වර්ෂයේ දීය.

මේ නිසා, ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්වලට මුල්තැන දීම දැනට ශ්‍රී ලංකාව බැඳී සිටින ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතියේ (International Human Rights Law) ප්‍රධාන අංගයක් වන්නේ ය.

ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතීන් කෙටුම්පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා ශ්‍රී ලංකාව ද වෑයම් කර තිබේ. පොදු පෙරමුණු රජය යටතේ 2000 වසරේ ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ දේපළ අයිතිය, ළමා අයිතිවාසිකම්, පෞද්ගලික ජීවිතයට සහ විවාහ ජීවිතයට ඇති අයිතිවාසිකම් වැනි ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බොහෝමයක් ව්‍යවස්ථානුකූල කිරීමට නිර්දේශ වී තිබිණි. ඉන්පසු මහින්ද රාජපක්ෂ රජය යටතේ 2006 වර්ෂයේ මානව අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාත්මක වුණු ‘අන්තර් අමාත්‍ය කමිටුව’ (Inter – ministerial Committee) මගින් පත්කෙරුණු විශේෂඥ කමිටුවෙන් 2009 දී ඉදිරිපත් කෙරුණු නිර්දේශයන්හි ද, ඉතා ප්‍රගතිශීලී මානව අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පරිච්ඡේදය වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කෙරුණි. මේ මත පදනම් වූ ඉතා ප්‍රගතිශීලී මුලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් (Chapter on Fundamental Rights) 2016 සිට 2018 දක්වා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියේ දී ද ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාවල ඇති විශේෂිතම අංගය වූයේ යුක්ති සහගත කළහැකි (Justiciable), ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් බොහොමයක් හඳුන්වාදීම ය. මෙමගින් ‘පවුල් අයිතිවාසිකම්’ (Familiy Rights), ‘අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිවාසිකම්’ (Right to Education) ‘සෞඛ්‍යය අයිතිවාසිකම්’ (Right to Health) ‘සමාජ අයිතිවාසිකම්’ (Social Rights) එනම්, ආහාර සහ පෝෂණයට ඇති අයිතිය (Right to Food and Nutrition) පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම්වලට ඇති අයිතිය (Right to Water and Sanitation) නිවාස සහ වාසස්ථානවලට ඇති අයිතිය (Right to Housing and Shelter) යනුවෙන් පුළුල් පරාසයක ආර්ථික, සමාජ, සහ සංස්කෘතික අයිතීන් ඉදිරිපත් කර ඇත.

ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන්ගේ ඇති වැදගත්කම

ප්‍රධාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල අවධානය යොමු වූ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීමට පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය සහ සමාජ බලගැන්වීම ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීමේ දී ආර්ථික හැකියාව, දැනුම සහ වෙනත් මානව දර්ශකයන් පුද්ගලයාට අත්‍යවශ්‍ය අංගයන් වේ. එහෙයින්, සමාජයේ සහ පුරවැසියාගේ ආර්ථික සහ සමාජ බලගැන්වීම වෙනත් මානව අයිතිවාසිකම් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් දායක වේ.

නූතන ලෝකයේ දරිද්‍රතාවය නිර්වචනය වන්නේ ද ඒක පුද්ගල ආදායමට එහා ගිය අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ප්‍රවේශ වීමේ ඇති හැකියාව (Access to Education and Health), සාගින්න සහ මන්දපෝෂණය (Hunger and Malnutrition), නිවාස නැතිකම හෝ ප්‍රමාණවත් නොවීම (Homelessness and Inadequate Housing), අනාරක්ෂිත පරිසරය (Unsafe Environment ) වැනි ගුණාත්මක දර්ශක (Qualitative Indications) මතය. 1998 වර්ෂයේ නොබෙල් ත්‍යාගලාභී (Amartya Sen ) යන ඉන්දියානු ජාතික ආර්ථික විශේෂඥවරයා 'Development as Freedom’ යන ග්‍රන්ථයේ සඳහන් කළ පරිදි සංවර්ධනය යනු මානව හැකියාවන්ගේ වර්ධනයක් මිස මුදල් ආදායම්වල උපරිම කරණයක් නොවේ. ඔහු සඳහන් කරන පරිදි දරිද්‍රතාවය යනු මානව හැකියාවන්ගේ අහිමිවීමක්ය. (ඉතාම අත්‍යවශ්‍ය කාර්යයන් අවම වශයෙන් ප්‍රමාණවත් මට්ටමකට සම්පූර්ණ කරගැනීමට ඇති නොහැකියාවයි.) මේ අනුව මෙම සංකල්ප මත දරිද්‍රතාවය තුරන් කිරීමට මානව හිමිකම් ප්‍රවේශයන් (Human Right Approach) මත පදනම් වූ දරිද්‍රතාවය අඩු කිරීමේ ක්‍රමවේදයන් (Poverty Reduction Strategies) ජාත්‍යන්තරය අද පිළිගැනුණු ක්‍රමවේදයන්ය.

මේ අනුව විවිධ ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරන පරිදි ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් සහ සිවිල් සහ දේශපාලන අයිතීන් අතර ඇත්තේ අන්තර් සම්බන්ධතාවයක් සහ එකිනෙකට පරායත්ත සහ වෙනස් කළ නොහැකි සම්බන්ධතාවන්ය (Interconnected, Interdependent and indivisible) නමුත් අවාසනාවකට හෝ ජාත්‍යන්තර ආයතනවල ක්‍රියාදාමයන්හි මෙම ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් ට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් මෙන් වැදගත්කමක් හෝ අවධානයක් යොමු වී නොමැත.

ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්වලට එරෙහිව ඇති වැරදි වැටහීම්

ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් ව්‍යවස්ථානුකුල කිරීමේදී ප්‍රධාන වශයෙන් එල්ලවන විවේචනයක් වන්නේ මේ හරහා අධිකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනයේ පළපුරුද්දක් නැති විනිසුරුවරුන් රාජ්‍ය ප්‍රතිපත්ති සෑදීමේ ක්‍රියාවලියට අවතීරණ වේය යන්නය. නමුත්, මෙම මතය සාවද්‍යය. මන්දයත් අධිකරණය දැනටත් දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වලට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු ලබාදෙන නිසාය. මෙවන් අධිකරණ තීන්දු හරහා මුදල් වෙන්කිරීම්වලට ද බලපෑමක් ඇති කළ හැකි ය. උදාහරණයක් ලෙස ගතහොත් පොලිසිය සම්බන්ධ කාරණාවල දී බඳවාගැනීම් ක්‍රියා පටිපාටියට අදාළ පුහුණු කිරීම් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු ප්‍රතිපත්තිමය තීන්දු වන අතර, මේ සඳහා රජය මුදල් සම්පාදනය කොට වෙන් කිරීම අවශ්‍ය ය. එමෙන්ම, මැතිවරණයක දී ආබාධිත ඡන්දදායකයන්ට විශේෂ ප්‍රතිපාදන සැලැස්විය යුතුය වැනි තීන්දු ද, ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපාදන සමඟ බැඳේ. මෙවන් තීන්දු මූලධර්ම මත පදනම් වූ ප්‍රතිපත්තිමය තීන්දුය. මෙසේ බලන කල අධිකරණය සහ විනිසුරුවරුන් ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා යොමුවීමෙන් ඔවුන් තමන්ට පුරුදු නැති ප්‍රතිපත්ති සෑදීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වේ යැයි පැවසීම පදනම් විරහිත තර්කයකි.

අවසාන වශයෙන් කිව හැක්කේ ජාත්‍යන්තර සංකල්පයක් වුවද දැනට ජාත්‍යන්තර ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම්වලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානවල බොහෝමයකගේද අඩු අවධානයට ලක්වන ආර්ථික, සමාජ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන වගයි. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කිරීම සහ ප්‍රතිසංස්කරණවල දී සිවිල් සහ දේශපාලන නිදහස මෙන්ම ආර්ථික නිදහස වෙත ද නිසි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වේ.

(Aruna)