Wednesday, December 25, 2024
Follow Us
දූෂණය ඉහළ යනකොට රටක් වළපල්ලට යන්නේ මෙහෙමයි - නීතිඥ චමින්ද්‍රි සපරමාදු

‘දූෂණය‘ යන්න ඉතා පුළුල් ලෙස නිර්වචනය වී ඇති වදනකි. එනම්, දූෂණය යනු ජනතා බලය තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන හෝ තම පවුලේ, මිතුරන්ගේ, වර්ගයේ, ජාතියේ හෝ දේශපාලන පක්ෂයේ ලාභ ප්‍රයෝජන සඳහා භාවිත කිරීම යි. දූෂණ පිළිබඳව එල්ල වූ චෝදනා ලොව බොහෝ රටවල ආර්ථික ක්‍රමයේ වර්ගය සහ ප්‍රමාණය නොසලකා හරිමින් විවිධ ආණ්ඩු බිඳ වැටීමට ද, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු ප්‍රබල දේශපාලකයන්ගේ පාලන බලය අවසන් කිරීමට ද හේතු වී තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ බුද්ධිමතුන් සහ ආර්ථික විශේෂඥයන් විසින් බොහෝ කලෙක සිට පෙන්වා දෙන්නේ දූෂණය ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව යි. විවිධ මුහුණුවරින් දක්නට ලැබෙන දූෂණය, රටේ ආර්ථික වර්ධනය මන්දගාමී කරන හෙයින්, අපි ඒ කෙසේද යන්න පිළිබඳව මඳක් විමසා බලමු.

රාජ්‍ය වියදම් වැරදි අංශ කෙරෙහි වෙන්වී යාම

විශේෂයෙන් ම බොහෝ රටවල දේශපාලකයන්ගේ මහා පරිමාණ වංචා සහ දූෂණ ඒ රටවල ප්‍රාග්ධන ව්‍යාපෘති හා බැඳී පවතී. Tanzi සහ Davoodi යන විද්වතුන් පෙන්වා දෙන ආකාරයට විවිධ පෞද්ගලික සමාගම් විසින් විවිධ ව්‍යාපෘති අත්පත් කරගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන කොමිස් මුදල්, එම ව්‍යාපෘතිවල මුළු අගයට එකතු කරන නිසා මහා පරිමාණ ප්‍රාග්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට ආණ්ඩු වැඩි අවධානයක් යොමු කරයි. මෙම හේතුව නිසා බොහෝවිට රටක ක්‍රියාත්මක කරන ‘දූෂණය පාදක කොටගත්’ ප්‍රාග්ධන ව්‍යාපෘති ප්‍රමාණය වැඩිවීමට ඉඩ තිබේ.

නමුත්, විවිධ පර් යේෂණවලින් පෙන්වා දී ඇත්තේ, ව්‍යාපෘතිවල ප්‍රවර්තන වියදම් සංසන්දනාත්මකව වැඩිවීම ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් එල්ල කරන බව ය. රාජ්‍ය වියදම්වල ඇති ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය සහ ඒක පුද්ගල ආදායමේ වර්ධනය අතර ඇත්තේ සෘණාත්මක සම්බන්ධයක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍යයෙන් සිදුකෙරෙන සන්නිවේදනය, ගමනාගමනය වැනි ප්‍රාග්ධන වියදම් සහ ආර්ථික වර්ධනය අතර නොවැදගත් හෝ ඍණාත්මක සම්බන්ධයක් ඇති බව මෙම පර් යේෂණවලින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. Devarajan, Swaroop සහ Hong Cheng පෙන්වා දෙන්නේ කාර්යක්ෂම වියදම් බහුල ලෙස යෙදවීම බොහෝවිට අකාර්යක්ෂමතාවට ද හේතුවිය හැකි බව යි. නමුත්, ඉහළ පුනරාවර්තන වියදම් සහ මෙහෙයුම් හා කළමනාකරණ වියදම් (Operation and Management Expenditure) වැනි සංරචක ඉහළ ආර්ථික වර්ධනයකට සහාය වන බව ද ඔවුහු පෙන්වා දෙති. එසේවුව ද, සැබවින් ම දූෂණය හේතු කොටගෙන අකාර්යක්ෂම ව්‍යාපෘති සඳහා රාජ්‍ය සම්පත් අනවශ්‍ය ලෙස හා වැරදි සහගත ලෙස වෙන් කිරීම නොකඩවා සිදුවෙයි. මෙම කාරණය මගින් තුන්වන ලෝකයේ රටවල ආණ්ඩු ඔවුන්ගේ සීමිත සම්පත් යටිතල පහසුකම් වැනි ව්‍යාපෘතිවලට වැඩි-වැඩියෙන් ආයෝජනය කරන්නේ මන්දැයි පැහැදිලි කරගත හැකි ය. Shleifer සහ Vishny වැනි විද්වතුන් පෙන්වා දෙන ආකාරයට අධ්‍යාපනය හෝ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරනවාට වඩා මෙවන් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම නිසා දූෂණයන්ට ඇති අවස්ථා වැඩි ය. මන්ද ? අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයක ආයෝජන කිරීමේ දී වංචාවට සහ දූෂණ ක්‍රියාවන්ට ඇති අවස්ථාවන් සීමාසහිතවීම යි.

පෞද්ගලික ආයෝජන අඩුවීම

අල්ලස් හා දූෂණ ක්‍රියා නිසා තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් අවිනිශ්චිත වාතාවරණයක් ඇතිවන හෙයින්, පෞද්ගලික ආයෝජකයන්ට සිය ආයෝජනවල ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳව විශ්වාසයක් ඇති නොවේ.

රටක දූෂණය පැලපදියම් වූ විට නීතියේ ආධිපත්‍යය, දේපළ පිළිබඳ අයිතිවාසිකම්, ගිවිසුම් බලාත්මකවීම වැනි දෑ අභියෝගයට ලක්වේ. ආයෝජකයන්ට තමන් මුදල් යොදවන ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ ගැන විශ්වාසයක් තිබිය යුතු ය. මෙවන් විශ්වාසයක් ගොඩනැගීම පදනම් වෙන්නේ ශක්තිමත් සහ හොඳින් ක්‍රියාත්මක වන නීති පද්ධතියක් සහ ආයෝජන පිළිබඳ හොඳ තීන්දු තීරණ ගත හැකි ස්වාධීන අධිකරණ පද්ධතියක් රටක තහවුරු වුවහොත් පමණි.

නැගෙනහිර ආසියාවේ පිබිදීම වටහා ගැනීම

මෙම මතයට හාත්පසින් වෙනස් ප්‍රතිඵලයක් නැගෙනහිර ආසියානු රටවල දක්නට ලැබේ. එනම්, සාපේක්ෂ වශයෙන් බලනවිට එම රටවල් ඉහළ දූෂණ ඇති රටවල් වුව ද, ආයෝජන සහ ආර්ථික වර්ධනය අතින් ඉහළ තැනකට ගමන් කළේය.

මෙම තත්ත්වය පැහැදිලි කරමින් Campos, Lien සහ Pradhan යන විද්වතුන් පෙන්වා දෙන්නේ දූෂණ ක්‍රියා විවිධ ලෙස සංවිධානය වූ රටවල ආයෝජනවලට විවිධ ලෙස බලපෑම් ඇති බවයි. එවැනි රටවල් පහත සඳහන් පරිදි ඔවුහු කොටස්වලට බෙදා දක්වති.

* දූෂණ ක්‍රියා ඉහළ ආයෝජනයන්හි ප්‍රතිලාභ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු රටවල්

* දූෂණ ක්‍රියා ඉහළ නමුත් , ආයෝජනයන්හි ප්‍රතිලාභ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩි රටවල්

* දූෂණ ක්‍රියා අඩු ආයෝජනයන්හි ප්‍රතිලාභ පුරෝකථනය කිරීමේ වැඩි හැකියාවක් ඇති රටවල්

ඔවුන් පෙන්වා දෙන ආකාරයට නැගෙනහිර ආසියානු රටවල් අයත්වන්නේ මින් දෙවැනි කාණ්ඩයට ය. මෙවන් රටවල දූෂණ ක්‍රියා ඉතා හොඳින් සැලසුම් වී ඇති හෙයින්, ආයෝජනයන්හි ප්‍රතිලාභ පුරෝකථනය කිරීමට වැඩි හැකියාවක් එම රටවලට ඇති බව ඔවුහු කියා සිටිති.

දූෂණ ක්‍රියා වඩාත් මධ්‍යගත වූ විට එනම්, එක් පාලකයකු හෝ එක රාජ්‍ය නිලධාරියකු විසින් ආයෝජනවලට අදාළ ගිවිසුම් ගැන තීන්දු තීරණ ගන්නා විටක දී එම පුද්ගලයාට කිසියම් කොමිස් මුදලක් හෝ අල්ලසක් ගෙවීමෙන් ආයෝජකයන්ට අවශ්‍ය ආයෝජනය පිළිබඳ තීන්දු තීරණ ලබාගත හැකි බවට මතයක් ඇතිවේ. මෙමගින් ආයෝජනයන් පිළිබඳව ඇති අවිනිශ්චිතතාව අඩුවේ. නමුත්, දූෂණ ක්‍රියා විමධ්‍යගත වී ඇති රටවල එනම්, පාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුට මෙවන් තීන්දු තීරණ ගැනීමේ බලය පැවරී ඇති අවස්ථාවක කිසියම් ආයෝජනයක් කිරීමේ දී පෞද්ගලික ආයෝජකයන්ට තමාගේ ගනුදෙනුව ලැබේ ද යන්න සැකසහිතය. එහෙයින්, ඉහත සඳහන් දෙවැනි අවස්ථා කාණ්ඩයේ දී ආයෝජකයන්ගේ ආයෝජනයන්ට වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බව ඔවුහු පැහැදිලි කරති.

මේ අනුව, ආශ්චර්යමත් ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරන නැගෙනහිර ආසියානු රටවල දූෂණ ක්‍රියා වැඩි වුව ද, පෞද්ගලික ආයෝජන වැඩි ප්‍රමාණයක් රටවල් තුළට ඇදී එන්නේ මේ හේතුව නිසා ය. වෙනත් දියුණුවන රටවල් සමග සංසන්දනය කිරීමේ දී නැගෙනහිර ආසියානු රටවල් වේගවත් ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

එසේ වුව ද, මෙවන් ආර්ථිකයන් ඉහත තුන්වන කාණ්ඩයට එනම්, දූෂණ ක්‍රියාවන් අඩු ආයෝජනයන්හි ප්‍රතිලාභ පුරෝකථන කිරීමට වැඩි හැකියාවක් ඇති රටවල් කාණ්ඩයට අයත් ආර්ථිකයන් වූයේ නම්, ඒවා මීටත් වඩා වේගයෙන් දියුණු වන ආර්ථිකයන් බවට පත්වන බවත්, එසේම මෙවන් රටවල් පළවෙනි සහ දෙවෙනි කාණ්ඩයේ ඇති රටවල්වලට වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකියාවක් ඇති රටවල් බවට පත්වන බවත් ඔවුහු පෙන්වා දෙති.

රටක නිපුණතා වැරදි ලෙස බෙදීයාම

රටක ඇති දූෂණ ක්‍රියා නිසා එම රටේ ඇති ශ්‍රම බළකාය සතු නිපුණතා වැරදි ලෙස බෙදීයාම තුළින්ද එරට ආර්ථික වර්ධනය අවහිර කරයි. සාමාන්‍යයෙන් කිසියම් රැකියාවක වෘත්තීය නිපුණත්වය සිත්ගන්නාසුලු එකක් වන්නේ හේතු සාධක තුනක් මත ය. ඒවානම්, එම රැකියාවට ඇති වෙළෙඳපොළ ඉල්ලුම, එයින් ලැබෙන ඵලප්‍රයෝජන සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ යන දෑය. බොහෝ දියුණුවන රටවල දේශපාලන සම්බන්ධතා මගින් ලබන නිපුණතා ප්‍රදානයන්, ව්‍යවසායකයන්ට ආයෝජනය කිරීමෙන් ලබන ප්‍රතිලාභයන්ට වඩා වැඩි ය.

‍Francis Lui යන ආර්ථික විශේෂඥයා පෙන්වා දෙන ආකාරයට රටක ශ්‍රම බළකායේ දක්ෂතා හා කුසලතා වැඩි පුද්ගලයන් විසින් තෝරා ගනු ලබන ක්‍රියාකාරකම් මත රටක සම්පත් බෙදීයන ආකාරයට පැහැදිලි බලපෑමක් එල්ල කරයි. ඵලදායිතාවෙන් අඩුවන සමාජ හා දේශපාලන සම්බන්ධතා ගොඩනැගීම වැනි දේශපාලන ප්‍රාග්ධන කෙරෙහි රටක මානව සම්පත් යෙදවීම සමාජ ඵලදායිතාව අඩුකරයි. දේශපාලන ප්‍රාග්ධනයට මෙසේ මානව සම්පත් යොමු කිරීම මගින් රටක ඇති සීමිත මානව සම්පත් ඉහළ ඵලදායී ප්‍රාග්ධනය කෙරෙහි ආයෝජනය කිරීම අඩු කරයි. එවන් අඩු ඵලදායිතාවකින් යුතු නිපුනතා කෙරෙහි රටක ඇති සම්පත් බෙදී යාම එරටේ දිගුකාලීන ආර්ථිකයට එල්ල කරන්නේ අහිතකර බලපෑමකි.

ඕනෑ ම රටක දූෂණ ක්‍රියා 1% ක පමණ ප්‍රමාණයකින් පහත හෙළීමෙන් 0.27% ප්‍රමාණයකින් එරට ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනයේ වැඩිවීමක් ඇතිවන බවත්, මෙය මෙසේ වන්නේ දූෂණ ක්‍රියා අඩු වීම හේතුවෙන් එරට මානව සම්පත් ප්‍රමාණයේ වැඩිවීමක් හරහා බව තහවුරු වී ඇත.

ඵලදායිතාවන් අත්විඳීමට නොහැකිවීම

‘තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකය එහි පවත්නා තරගකාරීත්වය මගින්ම සම්පත් බෙදීයාම වර්ධනය කරයි’ යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ දැක්වෙන ප්‍රධාන මූලධර්මයකි. ඵලදායිතා සාධකයට අනුව රටක ආයෝජනය කරන ව්‍යාපෘතිවලින් වඩාත් ඵලදායී ව්‍යාපෘතිය කුමක් ද යන්න තේරීමට ලක් වේ. මෙය මෙසේ වන්නේ ඉන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ නිසාය.

නමුත් රාජ්‍ය නිලධාරීන්ට මෙවන් දේ ගැන තීන්දු තීරණ ගැනීමට පූර්ණ බලයක් තිබෙන අවස්ථාවන්හි කුමන පෞද්ගලික ආයතනවලට ව්‍යාපෘති ලබාදෙන්නේ ද යන තීරණය පදනම් වන්නේ යාළු මිත්‍රකම්, ඥාති සම්බන්ධකම් හෝ දේශපාලන සම්බන්ධකම් සහ, අල්ලස් හෝ කොමිස් මුදල් මත විය හැකි ය. මෙය ඵලදායිතාව යන සාධකයන්ට පරිබාහිර සාධකයකි. මෙවන් ආර්ථික ක්‍රමවේදයන්හි ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලැබෙන්නේ සැබෑ ඵලදායිතාවට වඩා රජයේ නිලධාරීන් සමග සම්බන්ධතා ඇතිකිරීම සහ වර්ධනය කිරීම වැනි ඵලදායිතාව අඩු කාර්යයන් මගිනි. එමනිසා, තාක්ෂණ ඵලදායිතාව අඩු පෞද්ගලික ආයතනයන්ට වුව ද, මෙවන් ව්‍යාපෘති ටෙන්ඩර් පහසුවෙන් ලබාගත හැකිවේ.

Della porta සහ Vannucci යන විද්වතුන් පෙන්වා දෙන ආකාරයට රටක ආර්ථික සංවර්ධනය රඳා පවතින ප්‍රධාන සාධකය වන්නේ එම රටේ සම්පත් ඵලදායී ආයෝජනයන් වෙත යොමු කිරීම ය. නමුත්, ඵලදායී ආයෝජන ආයතන රාජ්‍ය ව්‍යාපෘතිවලට සම්බන්ධකර නොගැනීමෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ බොහෝමයක් නැතිවන බව ඔහු පෙන්නා දෙයි. අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දූෂණ ක්‍රියාවන් තුළින් රටක ආර්ථික වර්ධනයට ඍණාත්මක බලපෑමක් ඇති බව පෙන්වීමට ප්‍රබල සාධක ඇති බවය. ලොව පුරා විවිධ රජයයන් ඔවුන් අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ඉලක්ක කරා යෑමට අසමත්වන්නේ මෙම දූෂණ ක්‍රියාවන්ට මෙන් ම, ව්‍යුහගත ප්‍රශ්නයට නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙනි. නමුත්, දිගුකාලීන ආර්ථික වර්ධනයක් කෙරෙහි පාලකයන්ගේ අවංක කැපවීමක් ඇතිනම්, දූෂණ ක්‍රියා මැඬලීම හෝ අවම කිරීම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අංගයක් බවට අනිවාර්යයෙන් පත්විය යුතු ව තිබේ.

ළමා වැරදි සිදු විය හැකි වයස්වල

සාමණේර යතිවරයන් දෙදෙනකුට

රෝහල්ගත වන තරමට ගුටි පූජා

කළ මුදලාලියකු පිළිබඳ පුවතකි මේ

හොරොව්පතානේ පොලිසිය නොපමාව

අධිකරණෙට ගෙන ගිය උටියා වෙනුවෙන්

පෙනී හිටින්නට නීතිඥයකු නැත

සඟ දෙනමට ඒ සේවය නොමිලේය

(Aruna)