Wednesday, December 25, 2024
Follow Us
ගමේ පිළිසඳර රටේ සංවර්ධනයට පාර කපයි - නීතිඥ චමින්ද්‍රි සපරමාදු

නූතන ලෝකයේ ‘සංවර්ධනය‘ යන්න වටහා ගැනීමේ සහ ඊට ප්‍රවේශ වීමේ සංකේතාත්මක වෙනසක් පසුගිය දශක දෙක තුළ සිදු වූයේ යැයි කීම නිවැරදි නිගමනයකි. රටක සංවර්ධනය යනු එරට ජනතාවට රජයක් විසින් ලබාදෙන සුබසාධන කටයුත්තකට වඩා ජනතාවට ඇති මූලික අයිතිවාසිකමකි. 1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහසමුළුවේ දී සම්මත වූ සංවර්ධනයට ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (UN Declaration on Right to Development) හරහා සංවර්ධනය යනු පූර්ණ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික ක්‍රියාවලියක් බවට නිර්වචනය වූ අතර, එහි මූලික අරමුණ ලෙස රටක සමස්ත ජන කොටස්වල සුබසිද්ධිය එරට සියලු පුද්ගලයන්ගේ සුබසිද්ධිය බවට පත්කිරීමේ වැදගත්කම අවධාරණය විය.

එය නිර්වචනය විය යුත්තේ ඔවුන්ගේ නිදහස් සක්‍රිය දායකත්වයෙන් බවත්, එකී සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ ඔවුන් අතර සමසේ බෙදීයාම වැදගත් බවත් එමගින් හුවාදැක්විණි. ඊට අමතරව සංවර්ධනය යනු පුද්ගලයාගෙන් වෙන් කළ නොහැකි මානව අයිතිවාසිකමක් (Inalienable Human Right) බවත්, ඒ හරහා සියලු පුද්ගලයන්ට සහ සියලු ජනතාවන්ට ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන සංවර්ධනයේ කොටස්කරුවන් වීමටත්, ඒ සඳහා දායකවීමටත්, එමගින් ලැබෙන ප්‍රතිලාභ සමසේ භුක්ති විඳීමටත් හැකිවන බව එම ප්‍රඥප්තියෙන් තවදුරටත් පිළිගැනේ.

ඕනෑම මානව අයිතිවාසිකමක් තහවුරු වීමට නම් එය ප්‍රථමයෙන් පිළිගැනීමට ලක්වීම ඉතා වැදගත් වුව ද, එය සාක්ෂාත් කරගත හැක්කේ එය ක්‍රියාත්මක වන රටේ නීති පද්ධතියට එම මානව අයිතිවාසිකම් අන්තර්ගත වුවහොත් පමණි. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් පරිච්ඡේදයේ සංවර්ධනයට ඇති අයිතිය ((Inalienable Human Right)) යනුවෙන් අයිතිවාසිකමක් පිළිබඳව සඳහන් වී නොමැත. එමෙන්ම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම (Right to Development) යටතේ ජනතා සුබසිද්ධිය සැලසීම රජයේ වගකීමක් සහ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයක් වශයෙන් සඳහන් කර තිබුණ ද, සංවර්ධනයට ප්‍රවේශවීම සහ දායකවීම සියලු රටවැසියන්ට ඇති අයිතිවාසිකමක් හෝ ක්‍රමවේදයක් ලෙස එහි දක්වා නැත.

මෙලෙස සංවර්ධනයට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ නීතිමය ක්‍රමවේදයක් පිළිබඳව පැහැදිලිව දක්වා නැති පසුබිමක දී මෙම අයිතිය සාක්ෂාත් කරගැනීම සඳහා රටක සංවර්ධන අභිලාෂ, ප්‍රතිපත්ති, අරමුණු සහ සැලසුම් සකස් කරගැනීම පුළුල් ජනතා සහභාගිත්වයෙන් සිදුකිරීමේ ඇති වැදගත්කම ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබ තිබේ. ‘Inclusive and Participatory Development’ නොහොත්, සියලු දෙනාගේ සහභාගිත්ව සංවර්ධනය නමැති මෙවන් ක්‍රමවේද හරහා ජනතාවගේ අභිලාෂ හා අදහස් හරහා පමණක් රටක සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමේ ඇති වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන පවා පිළිගෙන එම සංකල්ප සහ ක්‍රමවේද විවිධ රටවල ආණ්ඩුවලට ඉදිරිපත් කර තිබේ. මෙවන් ක්‍රමවේද මගින් සිදුකරනු ලබන්නේ රටක මහජනතාව සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමියා බවට පත් කිරීමයි.

2015 වර්ෂයේ නිව් යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී ලෝකයේ රාජ්‍ය නායකයන් සියලු දෙනා විසින් 2030 වර්ෂය වන විට තම රටවල් සාක්ෂාත් කරගත යුතු සංවර්ධන අරමුණු 17 ක් පිළිබඳව ප්‍රතිඥා ලබාදෙන ලදි. ‘තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය’ (Sustainable Development Agenda) නමැති එකී අරමුණු ඇතුළත් මෙම න්‍යාය පත්‍රය සකස් කිරීමට ශ්‍රී ලංකාව ද සක්‍රීයව දායක වූ අතර, එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට රටක් ලෙසින් කැපවීමේ ඇති වැදගත්කම ද එහි දී පිළිගැනිණි. මෙම ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කිරීමේ දී දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි.

පසුගිය සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals) න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිදුවූ අඩුපාඩුවලින් ලද අත්දැකීම් මත මෙම පිළිවෙත අනුගමනය කරන්නට ඇතැයි සිතිය හැකිය. ඒ අනුව, ජාතික මට්ටමේ කතිකාවන් තෝරාගත් රටවල් 13ක සිදුකෙරුණු අතර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ ආයතන 4200 ක් පමණ මෙම කතිකාවන්වල කොටස්කරුවන් බවට පත්වී ය.

මෙම ‘තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය’ සකස් කිරීමේ දී අවධානය යොමු වූ ප්‍රධාන කරුණ වූයේ, ප්‍රාදේශීය මට්ටමෙන් සහ බිම් මට්ටමෙන් ගොඩනැගෙන පුළුල් ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර න්‍යායපත්‍රය සකස් කිරීමේ දී දියත් කරන්නේ කෙසේ ද යන්නයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පත් කරන ලද ඉහළ උපදේශක මඬුල්ල (UN Secretary General’s High Level Panel) විශ්වාස කළේ, මෙය කළහැකි වන්නේ සියලු දත්තයන් එක්-එක් ප්‍රදේශ මත විසුරුවා හැරීමෙන් (Disaggregating by Place) සහ සංවර්ධන ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ට වැඩි දායකත්වයක් ලබා දීමෙන් බවත් ය.

මේ අනුව, සංවර්ධන අරමුණු සහ ඉලක්ක හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් කිරීම සඳහා ඔවුන්ට වැඩි දායකත්වයක් ලබාදීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අවධාරණය කෙරිණි. ප්‍රාදේශීය වශයෙන් ඇති පසුබිම, විවිධ ප්‍රවේශයන් සහ බාධක පදනම්ව සංවර්ධන ක්‍රියාවලිය නිර්වචනය කිරීමක් කළ යුතු අතර, එම සාධක, අදාළ අරමුණු සහ ඉලක්ක ක්‍රියාත්මක කිරීමටත්, ඒ සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීමටත් බලපාන බව පෙන්නා දී තිබේ.

වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ පෙර පැවතුන වැඩවසම් ක්‍රමයේ තවමත් පවතින අංග ලක්ෂණ වැඩි වශයෙන් පිළිබිඹුවන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ යැයි කිවහොත් එය නිවැරදි ය. අප රටේ සාමාන්‍ය ජනතාවට රාජ්‍ය පාලනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථාව අඩුය. දේශපාලනයේ දී ජනතාවට ඡන්ද දායකයකු වීම හැර ඉන් එහා ගිය කොටස්කරුවකු වීමට ඇති ඉඩප්‍රස්ථා ද ඉතා අඩුය. මේ නිසා දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජනතාවට රාජ්‍ය න්‍යායපත්‍රයේ කොටස්කරුවකු වීමට ඇති අවස්ථාවත් යන කරුණු නූතන සංවර්ධනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් හි මුලිකාංග ලෙස හඳුනා ගත හැකිය.

මෙම පදනම මත දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම ඉතා වැදගත් කටයුත්තකි. අප දන්නා තරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ දී ඉහත සඳහන් පුළුල් වැඩපිළිවෙළට සමාන ක්‍රියාවලියක් උපයෝගී කොටගෙන ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් වන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන හරහා රට පුරා ඇති ගම් 25000ක වෙසෙන ජනතාව සමග කෙරෙන සුහද පිළිසඳරකින් සංවර්ධනයට අදාළ සියලු තොරතුරු සහ නව යෝජනා ලබා ගැනීමට කටයුතු කෙරේ.

ප්‍රථමයෙන්ම ගමේ මෙන්ම එක්-එක් කුටුම්භයේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික පසුබිම, යටිතල පහසුකම්, අධ්‍යාපන මට්ටම් වැනි විවිධ දත්ත රැස්කරමින් එවන් දත්ත පුළුල් විශ්ලේෂණයකට ලක්කෙරේ. එමෙන්ම, විධිමත් යෝජනා පත්‍රයකින් පුද්ගලයාගේ, කුටුම්භයේ, පවුලේ, ගමේ සහ ප්‍රදේශයේ ඇති මානුෂීය, සමාජයීය, සංස්කෘතික සහ ආර්ථික සංවර්ධනයට අදාළ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව ඒවා ජනමූල ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්ති කමිටුවට ඉදිරිපත් කරන බව කියැවේ.

මෙම ක්‍රියාවලිය මගින් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයට මහජනතාවට සෘජුවම දායකවීමේ අවස්ථාවක් ලැබෙන බව දක්නට තිබේ. මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් බැලූ කල ඉතා ප්‍රගතිශීලී ක්‍රියාවලියක් බව කීම නිවැරදියි කියා මම සිතමි. නූතන ලෝකයේ නව සංකල්ප සහ ක්‍රමවේද සමග ද මෙම ක්‍රියාවලිය ඉතා හොඳින් ගැළපේ. එසේ වුවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක වනු ඇත්තේ සැලසුම් අදියරෙන් ඔබ්බට ගොස් එය ක්‍රියාත්මක වුවහොත් පමණකි. සාමාන්‍යයෙන් සෑම පක්ෂයක්ම බලයට පත්වීමට පෙර බොහෝ සැලසුම් සකස් කරන නමුත් බලයට පත්වීමෙන් පසු සිදුවන්නේ එකී සැලසුම් වැඩසටහන්වලට හාත්පසින් වෙනස් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් වූ දිනයක එසේ නොවනු ඇතැයි සිතමු.

‘තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය’ (Sustainable Development Agenda) නමැති එකී අරමුණු ඇතුළත් මෙම න්‍යාය පත්‍රය සකස් කිරීමට ශ්‍රී ලංකාව ද සක්‍රීයව දායක වූ අතර, එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට රටක් ලෙසින් කැපවීමේ ඇති වැදගත්කම ද එහි දී පිළිගැනිණි. මෙම ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කිරීමේ දී දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි.

(Aruna)