Sunday, October 20, 2024
Follow Us
චිකන් බ්‍රෙඩ්

ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 4ක්

බටර් හෝ මාගරින් මේස හැඳි 2ක්

ලුණු තේ හැඳි 1/2ක්

කිරිපිටි මේස හැඳි 2ක්

ඊස්ට් තේ හැඳි 2ක්

සීනි තේ හැඳි 2ක්

මඳ රස්නෙ වතුර කෝප්ප 1/2ක්

(ඊස්ට් දිය කිරීමට)

ඩෝ එක ඇනීමට මඳ රස්නෙ

වතුර කෝප්ප 1/2ක්

 

චිකන් ෆිලිං එකට අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත චිකන් ග්‍රෑම් 150ක්

තක්කාලි ගෙඩි 1ක්

ලූනු ගෙඩි 2ක්

සුදුලූනු බික් 4ක්

ඉඟුරු තරමක කැබැල්ලක්

රතු බෙල්පෙපර් ගෙඩි 1ක්

ලොකු තක්කාලි ගෙඩි 1ක්

ගම්මිරිස් මේස හැඳි 1ක්

කෑලි මිරිස් මේස හැඳි 2ක්

රෝස්මරි තේ හැඳි 1/4ක්

ගරම් මසාලා තේ හැඳි 1/2ක්

කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක්

ලුනු රස පදමට

සෝයා සෝස් මේස හැඳි 1ක්

 

ඩෝ එක සාදාගන්නා ක්‍රමය

මඳ රස්නෙ වතුර කෝප්ප බාගයකට, ඊස්ට්, සීනි දමා හොඳින් දිය කර ගන්න. දැන් විනාඩි පහළොවක් විතර පිපෙන්නට හරින්න. පිටි එකට ලුණු සහ මේ මිශ්‍රණය දමා හොඳින් අනාගන්න. අනාගත් පසු බටර් හෝ මාගරින් දමා හොඳින් නීඩ් කර ගන්න. මේක හොඳට නීඩ් වෙන තරමට බනිස් එක මෙළෙක් වෙනවා. හොඳට නීඩ් වුණාට පස්සේ හොඳ රෙදි කැබැල්ලකින් වසා පැත්තකින් තියන්න. අපි දැන් ෆිලිං එක හදා ගමු.

 

චිකන් ෆිලිං එක සාදා ගන්නා

ආකාරය

සෝස් පෑන් එකක් ළිප තබා එයට කැමැති තෙල් වර්ගයක් හෝ බටර් හෝ මාගරින් එක් කරන්න. එය රත් වෙද්දී, සිහින්ව කපාගත් හෝ තළාගත් සුදුලූනු සහ ඉඟුරු දමා සුවඳ එනතෙක් බැදගන්න. එයට කපාගත් චිකන් කැබැලි ටික දමා පිසගන්න. අනතුරුව කපාගත් ලූනු, බෙල්පෙපර්, තක්කාලි සහ අනෙකුත් කුළුබඩු ටික දමා හොඳින් පිසගන්න.

 

චිකන් බ්‍රෙඩ් එක සකසා ගමු

පිටි මිශ්‍රණය ගෙන දික් අතට තුනී කර ගන්න. තුනී කර ගත් මිශ්‍රණයේ මැදින් දෙපැත්තට ඉතිරි වන සේ චිකන් මිශ්‍රණය තබන්න. දැන් දෙපැත්තේ ඉතුරු කර ගත් කොටස් මත පිහියක් ආධාරයෙන් කැපුම් යොදන්න. (පටි ආකාරයට) පසුව චිකන් මිශ්‍රණය වැසෙන සේ එම පටිවලින් ගොතා ගන්න. ලස්සනට ගොතා ගත් බනිස් එක සෙල්සියස් අංශක 165ක උෂ්ණත්වය යටතේ විනාඩි විස්සක් බේක් කර ගන්න.

Tharunie