Sunday, October 20, 2024
Follow Us
කෝපි මල් සුවඳ විඳින්න කැමැති ඔබටයි...

ලොව දෙවැනි පානය...

ලෝකයේ ජීවත් වෙන මිනිස්සු වැඩියෙන් ම බොන්නෙ මොනවද? කිසිම දෙගිඩියාවක් නෑ. අපි දන්නවා බොන්නේ වතුර කියලා. හරි.... හරි.... ඉතින් ඊළඟට මොනවද වැඩියෙන් ම බොන්නෙ? ම්...... අනේ මන්දා? මම කියනවා කෝපි කියලා.... ඒත් ඒක නම් සමහර විට ඔබ පිළිගන්න එකකුත් නෑ. ඒත් ඇත්තමයි ලොව වැඩි ම දෙවැනි පානය වන්නේ කෝපි.

 

කෝපි කෝප්ප බිලියන 500ක්....

අවුරුද්දකට අපි කොච්චර කෝපි බොනවද කියලා ඇහුවොතින් උත්තරය.... ලෝකෙ ඉන්න මිනිස්සු කෝපි කෝප්ප බිලියන 500ක් පමණ බොනවා. ඒ කියන්නේ මිලියන දාහේ ඒව පන්සියයක්. ටිකක් විශාල ගාණක්. මේ අතින් ගත්තා ම කෝපිවලට තියෙන්නේ ලෝකයේ විශාල ඉල්ලුමක්.

 

එදා වගේම අදටත්....

මේ කතන්දරයට ඇත්තට ම අපි සම්බන්ධ වෙන්නේ, එක්තරා කාලයක දී ලෝකයට වැඩියෙන් ම කෝපි අපනයන කරපු රට අපේ ලංකාව වීම හින්දයි. අහන්නත් සතුටුයි නේද? බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවැති කාලයේ දී ලෝකයේ වැඩියෙන් ම කෝපි හදලා අපනයනය කරපු රට වන්නේ ශ්‍රී ලංකාව යි. අද වෙනකොට නම්, ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි අදටත් ලංකාවේ කෝපිවලට ලෝකයේ තියෙන ඉල්ලුම නම් බිඳක්වත් අඩුවෙලා නැහැ. ඒ රසයට ලෝකයා තාමත් ඒ වගේම කැමැතියි ආදරෙයි.

 

ශරීරයටත් හොඳයි...

හරි අපි අද කෝපි ගැන කතා කරන්න හිතුවෙ ඇයි? ඒ කාරණා දෙකක් නිසයි. එකක් තමයි, කෝපිවල තිබෙන සෞඛ්‍ය වාසිය. අනික තමයි, අපේ ආර්ථිකයට තියෙන වාසිය. වෛද්‍යවරු පෙන්වා දී තියෙන්නේ, දවසකට කෝපි කෝප්ප දෙකක් බොන එක හොඳයි කියල. කොයිම දේත් වැඩිපුර ගන්න එක හොඳ නැති හින්දා, ඉන් එහාට ගැනීම නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි කෝපි බොන කොට ශරීරයේ ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා විතරක් නෙවෙයි. දියවැඩියාව හා හෘද රෝග සමනය කරන්නත් ඒක උදව් වෙනවා කියලා වෛද්‍යවරු පෙන්වා දීලා තියෙනවා.

ඒ නිසා ඔබ දවසකට කෝපි කෝප්ප දෙකක් බොනවා නම්, ඒකෙන් අත්වෙන සෞඛ්‍යමය වාසි අවතක්සේරු කරන්න බැහැ. අනෙක් කරුණ නම්, කෝපිවලින් ලැබෙන ආර්ථික වාසිය.

අපේ රටට කෝපි අපනයනයෙන් විශාල ආදායමක් ලැබෙනවා වගේම ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ කඳුකර ප්‍රදේශවල ඉන්න කෝපි වවන ඇත්තෝ කෝපිවලින් ලොකු ආදායමකුත් උපයා ගන්නවා.

 

කෝපි වර්ග...

ශ්‍රී ලංකාවේ කෝපි වර්ග දෙකක් තිබෙනවා. ඒ නම්, ඇරබිකා කෝපි හා රොබස්ටා කෝපි යන වර්ගයි.

මේ කෝපි වර්ග දෙකෙන් ඇරබිකා කෝපිවලටයි ලෝකයේ වැඩි ම ඉල්ලුමක් තියෙන්නේ. මොකද, එහි රසය හා සුවඳ ඉතා ඉහළ යි. රොබස්ටා කෝපි ටිකක් සැරයි. තිත්ත ගතියත් ටිකක් වැඩි‍යි. හැබැයි ඒ තිත්ත රසයට කැමැති පිරිසකුත් ලෝකයේ ඉන්නවා.

කෝපිවල වඩා වැදගත් වන්නේ සකස් කිරීම යි. කෝපි අස්වැන්න නෙළා ගත්තට පස්සේ සකස් කරන්න ඕනේ. ඒක අපි තෙත් ක්‍රමය හා වියළි ක්‍රමය කියලා ක්‍රම දෙකකට කරනවා. නමුත් මේ වෙලාව ඒ ගැන කතා කරන්න වෙලාව නෙවෙයි.

 

ගෙවත්තට කෝපි...

සාමාන්‍යයෙන් කෝපි වගාවට සුදුසු මුහුදු මට්ටමෙන් අඩි 1000ක් පමණ ඉහළින් පවතින ප්‍රදේශයි. හැබැයි ඔබ ගෙවත්තේ වගා කරනවා නම්, ඕනෙම ප්‍රදේශයක කෝපි වගාවක් සිදු කරන්න පුළුවන්. කෝපි සෙවණට ප්‍රිය ශාකයක්. සාමාන්‍යයෙන් අව්ව ටිකක් අඩු තැනක ඔබේ කෝපි පැළය හිටවන්න තෝරා ගන්න. හොඳින් වතුර බැස යන, ලැටරික් පස, ඒ කියන්නේ කහ පාට පස තමයි මේකට හොඳ ම. ඇරබිකා කෝපි හිටවනවා නම්, අඩි 2×2 වළක් කපා ගන්න ඕනේ. පැළ කිහිපයක් හිටවනවා නම්, වළවල් පරතරය මීටර 1.8 විය යුතු යි. ඒ කියන්නේ අඩි 6ක් විතර. වළවල් මතුපිට පස්, කොම්පෝස්ට් හා දිරා ගිය කොළ රොඩුවලින් පුරවා ගන්න. ඉන්පසු නිරෝගී පැළයක් හිටවන්න.

 

නිරෝගී පැළයක්...

හොඳ පැළයක් හොයා ගන්න තියෙන පහසු ම ක්‍රමය තමයි, ආසන්නයේ ම තියෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවානකින් සහතික කරන ලද පැලයක් ලබා ගැනීම. ඉතින් නිරෝගී පැළයක් හඳුනා ගන්නේ කොහොමද? එක පැළයකට නිරෝගී කොළ දහයක්වත් තියෙන්න ඕනෙ. ඊළඟට කොළවල ලෙඩ රෝග තියෙන්නත් බෑ.

දැන් සාමාන්‍ය විදිහට පැළය හිටවගන්න. මතකයිනේ... ඉටි කවරය අයින් කරලා හිටව ගන්න ඕනේ. දැන් හොඳින් ජලය සම්පාදනය කරන්න. ටික දවසක් ගියාට පස්සේ කප්පාදුවකුත් තියෙනවා. අපි ඒ ගැන තවත් ලිපියකින් ඉගෙන ගනිමු.

හැබැයි රොබස්ටා වර්ගයේ පැළ හිටවනවා නම්, මේක පොඩ්ඩක් වෙනස්. එතකොට වළවල් අතර පරතරය මීටර 2.5 ක් විතර වෙන්න ඕනේ. කප්පාදුවත් ටිකක් වෙනස්.

 

වගා කරන්න හොඳම කාලය....

සාමාන්‍යයෙන් කෝපි වගා කරන්න හොඳම කාලය අප්‍රේල් හෝ සැප්තැම්බර් මාස. මොකද කෝපි මල් එන කාලයට අනිවාර්යයෙන් ම හොඳ වියළි කාලගුණයක් තියෙන්න ඕනේ. මේ මාසවල පැළ හිටෙව්වාම මල් එන්නේ, හරියට ම වියළි කාලගුණයක් තියෙන කාලයේ. කෝපි මල් එන කාලයට පරිසරය හරිම සුන්දරයි. මල් සුවඳින් පරිසරය පිරී ඉතිරී යනවා.

 

අස්වනු නෙළීම...

මෙහෙම හිටවලා සාත්තු කරපු කෝපිවල අස්වැන්න නොවැම්බර්

 

 

කරපු කෝපිවල අස්වැන්න නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලයේ දී ගන්න පුළුවන්. අස්වනු නෙළා ගත්තට යම් ආකාරයක සකස් කිරීමක් කර ගන්නත් අවශ්‍ය යි. හෙක්ටයාර එකකින් කෝපි කිලෝග්‍රෑම් 200ක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන්.

 

පොහොර යෙදීම.....

කියන්න අමතක වුණානේ.... පොහොර ටිකකුත් දැම්මොත් හොදයි. යූරියා, රොක්පොස්පේට්, MOP, කීසරයිට් කියන ජාති හතර, පිළිවෙළින් 4:5:3:1 කියන අනුපාතයට මිශ්‍ර කරලා පැළයට දැමීම අවශ්‍ය යි. පළමු අවුරුද්දේ ග්‍රෑම් 50කුත් දෙවැනි අවුරුද්දේ ග්‍රෑම් 150කුත්, තෙවැනි අවුරුද්දේ ග්‍රෑම් 200 කුත් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. ගෙවත්තේ වගා කරනවා නම්, පොහොර ගැන මෙතරම් කලබල වෙන්න ඕනේ නැහැ. දිලීර රෝගවලට කෝපි ටිකක් සංවේදී යි. ඒ නිසා වගාව පිරිසුදුව තියාගන්න උත්සාහ කරන්න. රෝගයක් දුටු විට ම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරන්න.

 

කරන්න පුළුවන් තවත් දේවල්...

අපි දන්නේ කළු කෝපි විදිහට කෝපි බොනවා කියල විතරනේ.. එතැනින් එහාට ගියපු ගොඩක් දේවල් කෝපිවල තියනවා. කැපචිනෝ කියන්නේ ඉන් එක් වර්ගයක්. ලංකාවේත් කැපචිනෝ කෝපි දකින්න පුළුවන්. ඒවගේම expresso coffee. මේක යන්ත්‍රයකින් හදන කෝපි පානයක්. මේක ලෝකයේ ඉතාම ජනප්‍රිය යි. මීට අමතර ව සතුන් ලවා කෝපි ඇට ගිල්වා ඔවුන්ගෙන් පිටවන මලපහවලින් ලබාගන්නා ඇටවලින් සකස් කරගන්නා කෝපි වර්ගයකුත් තියෙනවා. මේකත් ඉතා ම ජනප්‍රිය පානයක්. කෝපි බොන එක වෙනම සංස්කෘතියක්. කෝපි රසය හොයාගෙන සමහර සංචාරකයන් පවා ඇතැම් රටවල්වලටත් යනවා. කිලිමන්ජාරො කඳුවැටිය ආශ්‍රිතව තියෙන කෝපිවලින් ම සෑදුණු කෘෂි සංචාරක කලාපය මීට හොඳම උදාහරණයක්.

සමහර රටවල් කොපි සඳහා වූ ගෝලීය දර්ශකය පවා ලබාගෙන තියෙනවා. ඒක එතරම්ම බලවත්. ඉතිං මේ සංස්කෘතියේ මුල් අයිතිකවුරුවන් විදිහට අපිටත් යම් ආකාරයක අයිතියක් තියනවා, මේ සංස්කෘතිය ආයෙමත් පණ ගන්වලා අපේ ආර්ථිකය ගොඩනගන්න. ඒ නිසා පොඩි උත්සාහයක් අරගෙන බලන්න. උදව් ඕනේ වුණත් කතා කරන්න.

 

වැඩි විස්තර දැනගන්න 0112877841 අංකයට කතා කරන්න නැත්නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. කියන විද්‍යුත් ලිපිනයට ලියන්න.

 

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

Tharunie