Sunday, October 20, 2024
Follow Us
රුලංවලින් ආප්ප හදමු

අපි සාමාන්‍යයෙන් ආප්ප ඒ කියන්නෙ සුදු ආප්ප , බිත්තර ආප්ප ආදිය හදන්නෙ හාල්පිටි වලින්. හැබැයි ඉතින් ඔබ දකින මේ ආප්ප හදන්න භාවිතාකරල තියෙන්නේ රුලං පිටි. හාල් පිටිවලින් හදන ආප්පවලටත් වඩා රසයි.

ඒ වාගේම වැඩි කාල වේලාවක් ගත කරන්නේ නැතිව ඉක්මනින්ම හදාගන්නත් පුළුවනි. මේ රුලං ආප්ප මිශ්‍රණය ඔබට බ්ලෙන්ඩර් එක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගැනීමේ හැකියාවත් තියෙනවා. විශේෂයෙන්ම මේ ආප්ප සඳහා යීස්ට් භාවිතා කරන්නෙත් පොඩි ප්‍රමාණයක් නිසා පොඩි පැටවුන්ටත් බය නැතුව කන්න දෙන්න පුළුවනි. ඒ වගේම රසත් හරිම ඉහළයි.

ඉතින් ඔයාලාත් හදලාම රස බලන්නකෝ.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

¾ රුලං ග්‍රෑම් 250ක්

¾ උකුම උකු පොල් කිරි

මිලිලීටර් 250ක්

¾ යීස්ට් තේ හැඳි 1/2ක්

¾ පොල් වතුර මේස හැඳි

දෙකක් හෝ කෝප්ප 1/4ක්

¾ සීනි තේ හැඳි 2 1/2ක්

¾ පොඩි බටර් රස්ක් බිස්කට් 06ක්

¾ ලුණුකුඩු තේ හැන්දක්

¾ මෙහිදී ඔබට උකු පොල්කිරි සකසා ගැනීමට අපහසු නම් වෙළෙඳපොළෙන් මිලදී ගත් උකු පොල් කිරි ක්‍රීම් පැකට් එකකට පොල් වතුර ටිකක් මිශ්‍රකර උකු පොල් කිරි සකසා ගන්න.

¾ පොඩි බටර් රස්ක් බිස්කට් වෙනුවට මාරි බිස්කට් 02ක් 03ක් හෝ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 02ක් එහෙමත් නැතිනම් පාන් 1/2ක් පමණ භාවිත කරන්න.

 

සාදාගන්නේ මෙහෙමයි

¾ පළමුවෙන්ම රුලං ටික පිටි වනතුරා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

¾ අනතුරුව බ්ලෙන්ඩර් කරගත් මේ රුලං පිටි, සීනි තේ හැන්දක්, පොඩි කරගත් බටර් රස්ක් බිස්කට් සහ යීස්ට් ටික දාලා එයටම පොල්වතුර ටිකත් දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න.

¾ ඉන්පසුව උකු පොල් කිරි ටිකත් දාලා නැවතත් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

¾ දැන් මේ මිශ්‍රණය පිපෙන්නට තැබිය යුතුයි. ඒ සඳහා ඔබ සකසා ගත් ආප්ප මිශ්‍රණය බඳුනකට දමා පැය 3ක් 4ක් වගේ කාලයක් පසෙකින් තබන්න. අපි යීස්ට් වැඩිපුර මිශ්‍ර නොකළ නිසා තමයි පැය 3ක් 4ක් වගේ පිපෙන්නට තැබිය යුත්තේ.

මෙහිදී යීස්ට් ටිකක් වැඩිපුර යොදනවා නම් මේතරම් කාලයක් පිපෙන්නට තැබිය යුතු නැහැ.

¾ පැය 3කට 4කට පස්සේ මේ මිශ්‍රණය හොඳට පිපිලා උකුවෙලා පොඩි පොඩි බුබුලු දාලා තියෙන හැටි ඔබට දැක බලාගන්න පුළුවනි.

හැබැයි මේ බුබුලු දියවෙලා යන්න මිශ්‍රණය හොඳට කලවම් කරන්න අමතක කරන්න එපා.

ඒ විදිහට මිශ්‍රණය හොඳට කලවම් කරලා බලද්දිත් ගොඩාක් හිල් හිල් වගේ තියෙනවා නම් තව පොල් කිරි පොඩ්ඩක් දාලා හොඳින් කලවම් කරගන්න.

¾ ආප්ප මිශ්‍රණයේ පදම බලා ගැනීමට නම් මිශ්‍රණය හැඳි ගා හැන්දේ පිට පැත්ත බලන්න. එවිට ගනකමට පටලයක් වගේ හිමීට හැන්දෙන් පහළට වැටෙනවා නම් ඒ පදම හරියටම හරි. මොකද ආප්ප මිශ්‍රණය ගොඩාක්ම දියාරු කරගන්නත් එපා.

¾ දැන් තමයි අපි ආප්ප මිශ්‍රණයට ලුණුකුඩු දාගන්න ඕනෙ.

ඒ වෙලාවට කැමැති නම් තව සීනි තේ හැන්දක් වගේ දමලා හොඳට කලවම් කරගන්න.

¾ ඒ වාගේම ඔබ කැමැති නම් මේ මිශ්‍රණයට බිත්තරයක් එකතු කරගන්නත් පුළුවනි. එවිට පහසුවෙන්ම ආප්ප ගලවාගත හැකියි.

¾ දැන් තාච්චියේ තල තෙල් ටිකක් ගාලා අඩු ගින්දරේ ‍රත් වෙන්නට තියන්න.

අනතුරුව ආප්ප මිශ්‍රණය තාච්චියට දැම්මාම ‘චාස්‘ යනුවෙන් ශබ්දයක් ආවා නම් තාච්චිය ‍රත් වුණු පදම හරි. දැන් ලස්සන ‍රවුමක් කරකවලා වහලා ආප්පය පුළුස්සා ගන්න.

¾ මුලින් ආප්ප හදනකොට තාච්චියේ හොඳට තලතෙල් ටිකක් ගාන්න. එවිට ගලවා ගන්න පහසුවෙන්ම පුළුවනි. හැබැයි ඕනෙවට වඩා තෙල් ගාන්නත් එපා. එවිට ආප්පය ඇකිලෙන්න වගේ බලනවා.

¾ ඔබ ආප්ප හදාගෙන යනකොට මිශ්‍රණය ගනකම් ගතියක් දැනෙනවා නම් විතරක් තව පොල් කිරි හෝ පොල් වතුර ටිකක් එහෙමත් නැතිනම් වතුර ටිකක් දා ගන්න. (කෝප්ප 1/4ක් පමණ)

¾ ඔබ ආප්පයේ මැද කොටස වැඩිය කන්න කැමැති නැතිනම් මිශ්‍රණය ගොඩාක් දාගන්න එපා.

මේ ආප්ප වටේ ගොඩාක් ක්‍රිස්පි මැද වැඩිය නැතුව තමා හැදෙන්නේ.

¾ ඒ වාගේම ආප්ප හදන තාච්චිය කිසිම විටෙක සබන් දාලා හෝදන්නත් එපා. එතකොට තාච්චියේ පදම නැතිවෙනවා. ආප්ප හදනකොට ඇලෙන්න ගන්නවා. ඒ නිසා ටිෂූ කඩදාසියකින් හොඳට පිසදා ෂොපින් බෑග් එකක දාලා ගැටගහලා තියාගන්න.

(Tharunie)