Saturday, October 19, 2024
Follow Us
ජල ගාස්තු අඩු කිරීමට පියවර

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව අඩුවීමේ සාමාන්‍ය සියයට 7ක් වන අතර රජයේ රෝහල් සඳහා සියයට 4.5ක් සහ පාසල් , පුණ්‍යායතන සඳහා සියයට 6.3 ක සාමාන්‍යයකින් ජල ගාස්තු සංශෝධනය වේ.
ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනට පවතින ජල ගාස්තු 2023.08.01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා 2024.07.15 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද 2024.07.16 වැනි දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිගාස්තු අඩු කර ඇති බැවින් සහ ඉන්ධන , රසායනික ද්‍රව්‍ය සහ පොලි පිරිවැය අඩුවීම සැළකිල්ලට ගෙන ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.