Saturday, October 19, 2024
Follow Us
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නිවාස

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්ට නිවාස පහසුකම් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස  තමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව නාාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස සංකීර්ණයේ සහ දුම්රිය මාර්ග ව්‍යෘපෘතිය මගින් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ නිවාසවල මෙම අනවසර පදිංචිකරුවන් සදහා නිවාස ලබා දේ.

මෙම දුම්රිය රක්ෂිත කොටස්වල පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30කට අධික කාලයක් අනාරක්ෂිතව ජීවත් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන්ගෙන් පවුල් 350ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය මුදල් යෙදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ වූ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කෙරෙන අතර මේ වනවිට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.