Saturday, October 19, 2024
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

අන්දෝලනයට ලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීති ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාවේ නිර්දේශවලට අනුකුල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකේ.ටී.චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024.02.19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලැබ තිබේ.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.