Saturday, October 19, 2024
Follow Us
තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

තේ වගාවට පොහොර යෙදීමට රජය තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය.

මින් පෙර තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

දැනට අප රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ  නැංවීම ඉලක්ක කර තිබේ.

ඒ අනුව එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර දැනට රාජ්‍ය පොහොර සමාගම විසින්  රුපියල් 2000කින් අඩු අකරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කෙරේ.

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබා දීමට සැළසුම් කර තිබේ. මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද  (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.