Saturday, October 19, 2024
Follow Us
සිසුසැරිය සේවා පුළුල් කෙරේ

2024 වර්ෂය තුළ නව සිසුසැරිය සේවා 500ක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් උපයාගනු ලබන අරමුදලින් වෙන් කර ගැනීම සඳහා  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

පාසල් දරුවන්ට මානසික හෝ ශාරීරික අපහසුතාවකින් තොරව නියමිත වේලාවට පාසල් වෙත පැමිණීමටත්, අධ්‍යාපන කටයුතු නිමා කොට ආරක්ෂිතව නිවෙස් කරා යාමටත් හැකි වන පරිදි සහන ගාස්තු ක්‍රමයක් යටතේ වඩා විශ්වසනීය බස් රථ සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 2005 වර්ෂයේ සිට සිසුසැරිය ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ මඟින් සිසුන් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිසුසැරිය බස්රථ සේවාවන් 1,537ක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, දිනකට පාසල් ළමුන් ලක්ෂයකට පමණ එමඟින් ප්‍රවාහන පහසුකම් සැපයේ. එම ව්‍යාපෘතිය යටතේ බස් ගාස්තුවෙන් අඩක් පමණක් සිසුන්ගෙන් අයකරනු ලබන බැවින්, ධාවකයාට වන හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා කිලෝමීටරයකට රුපියල් 105/-ක් බැගින් දිනකට උපරිම කිලෝමීටර 110ක් සඳහා සහනාධාර ගෙවීම් කිරීම කරනු ලබයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම මත ආර්ථික පීඩාවට පත්වූ දෙමාපියන් සහ පාසල් විසින් මෙම සිසුසැරිය සේවාව ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් ඉහළ ගොස් ඇත.