පරිප්පු සහ ටින් මාළු සඳහා පණවා තිබුණු පාලන මිල ගැසට් නිවේදනයක් මඟින්ම ඉවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වාත් ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 250 දක්වාත් ඉහළ ගොස් තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයක් මඟින් පරිප්පු මිල රුපියල් 65 දක්වාත් සැමන් ටින් එකක මිල රුපියල් 100 දක්වාත් අඩු කරන ලද්දේ පසුගිය මාර්තු 17 වනදාය.
කෙසේවෙතත් එම මිල පාලනය ඉවත් කරගන්නා බවත් සතොස ආයතනය මඟින් පමණක් එකී මිලට සැමන් සහ පරිප්පු ලබාදෙන බවත් අප්‍රේල් 10 වෙනිදා රජය නිවේදනය කර තිබිණි. පසුව අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කෙරුණු ගැසට් නිවේදනයකින් එම පාලන මිල සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මිල පාලනය කිරීමට පෙර පරිප්පු මිල පැවතියේ රුපියල් 130ක් වශයෙන් වන අතර ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල පැවතියේ රුපියල් 225ක් වශයෙනි.
එදා මේ මිල අඩුකිරීම සිදුකළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට සෘජුවම සැපයීමට බවයි රජය ප්‍රකාශ කර තිබුණේ.
(LNW)