Thursday, October 31, 2024
Follow Us
රටම කතා කරන "206" වන කොරෝනා රෝගීයා

අද වන විට රටම කතා කරන වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාදක වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සම්බන්ධයෙන් අප ඉකුත් අප්‍රේල් මස 06 වෙනිදා nethnews.lk වාර්තා කර සිටියෙමු.

මෙරට වාර්තා වූ 206 වන රෝගියා වන මොහු වෘත්තීය වශයෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළද ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට සහ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කටයුතු වලට දායක වූ පුද්ගලයෙක් බවයි පසුව හෙළිවී ඇත්තේ.

ඉකුත් අප්‍රේල් මස 05 වෙනිදා රාත්‍රියේදී පමුණුගම, දෑලතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අනවසරයෙන් ඇතුල්වීම නිසා ප්‍රදේශවාසින් විසින් ඔහුව අල්ලා පොලිසියට භාර දෙනු ලැබුවා. පොලිසියට රැගෙන ගිය ඔහුගෙන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පමුණුගම රෝහලට ඇතුලත් කළ මෙම පුද්ගලයා පසුව රාගම රෝහලට මාරු කිරීමෙන් පසුව කොරෝනා ආසධිතයෙක් බවට හෙළිවිය.

එලෙස එම පුද්ගලයා කොරෝනා රෝගියෙක් බවට හෙළිවීමත් සමග දෑලතුර ප්‍රදේශයේ පදිංචි 12ක් ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සිදුවිය. ඒ මොහු අනවසරයෙන් ඉඩමට ඇතුල්වීමේදී අල්ලා ගැනීමට ඉදිරිපත් වූ ගම්වැසියන් එම පවුල් 12 තුල සිදුවීම නිසාය. මිට අමතරව පමුණුගම පොලිසිය ද සම්පුර්ණයෙන් විෂබීජ හරණය කිරීමට සිදුවිය.

මෙම පුද්ගලයා ජා-ඇල සුදුවැල්ල, කදාන, රාගම, පිටකොටුව කෙසෙල්වත්ත සහ ගුණසිංහපුර ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු හෙලිවුයේ නාවික හමුදාව විසින් අප පෙර සඳහන් කළ කොරෝනා ආසධිතයාගේ සමිපතයින් සොයා සිදුකළ මෙහෙයුමකදීය.

පොලිසිය, සෞඛ්‍ය අංශ නිලධාරීන් එන විට මෙම පිරිස් නිවෙස්වල නොසිට විවධ මාර්ග ඔස්සේ පළා ගොස් ඇත්තේ පැවති ඇඳිරි නීතියද නොතකාය.

කෙසේ හෝ වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලද තොරතුරක් ඔස්සේ සිදුකළ විමර්ශනයකදී පළමු කොරෝනා ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 28 දෙනෙක් සොයා ගැනීමට හැකිවූ අතර ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයේ පුජකතුමන්ගෙන්ද එයට මනා සහයෝගයක් ලැබී තිබෙනවා.

මෙම පිරිස පළමුව තමන්ව නිරෝධායනය කිරීමට රැගෙන යන බවට හෙළිවීමත් සමග ඊට විරෝධය පා පැන යාමට තැත් කිරීමේදී එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ භට පිරිස් හට එය පාලනය කිරීමට සිදුවියේ කිසිවෙක් නොසිතු මොහොතකය. එය අද වන විට රටේම කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව ඇත.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු නිලධාරින් සියලු දෙනාම කල්පිටිය ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිවාඩු නිකේතනයකට යොමු කොට දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට උසස් නිලධාරීන් කටයුතු කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මස 09 වෙනිදාය.

අවාසනාවකට එම අවස්ථාවේදී නාවික හමුදා භට පිරිසෙන් එක් අයෙකුට හෝ එම අවස්ථාවේදී වෛරසය සම්ප්‍රේෂණය වී තිබෙන බවට හෙලිවුයේ මිට දින කිහිපයකට පෙරය. ඒ පොළොන්නරුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබලෙක් වාර්තා වීමත් සමගයි.

නාවික හමුදාව විසින් ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කළ 28 දෙනෙකු ගෙන් යුත් පිරිසගෙන් 06 දෙනෙක්ටම කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙලිවුයේ ඔලුවිල් හි පිහිටි නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කොට පළමුව පැවැත්වූ PCR පරීක්ෂණයේදී වීම විශේෂත්වයක්.

ඉන් පසුව ඔවුන් ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සොයා නාවික හමුදාව තොරතුරු රැස් කොට සෙසු ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට සැලසුම් සකස් කරනු ලැබුවේ යම් හෙයකින් ඒ අතර කොරෝනා ආසධිතයෙක් සිටියහොත් සිදුවන විනාශය කුමක්ද යන්න ඔවුන් හොදින් අවබෝධ කර ගෙන සිටිය නිසයි.

අවසානයේදී ජා-ඇල සුදුවැල්ල, කදාන, කොටහේන, පිටකොටුව, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් ඇසුරු කළ බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින් දුරදිග බලා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් සමාජයේ බොහෝ දෙනාගේ ජිවිත ආරක්ෂා වූ අතර එවැනි කැපකිරීම සිදුකළ පිරිස් ගැන අද සමාජයේ ඇතැම් පිරිස් විසින් කියන සහ පලකරන දේ ගැන දෙවරක් සිතා බැලීය යුතුය.

(Neth)