Thursday, October 31, 2024
Follow Us
නාවික සෙබලූන් සමීපව ඇසුරු කළ පිරිස් රට පුරා ප්‍රදේශයන්හීදි අදත් නිරෝධායනයට

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා සිය ගම්බිම් බලා ගිය නාවික සෙබලූන් සමීපව ඇසුරු කළ පිරිස් අදත් ප‍්‍රදේශ කිහිපයකදි ස්වයං නිරෝධානයට ලක් කෙරුණා.

හික්කඩුව පොලිස් බල ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබලූන් සිව් දෙනෙකු සමග සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැණුනේ.

කෙසේවෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයේදි ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන රියදුරකු ඇතුළු සේවකයින් තිදෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඒ, එම සේවකයින් ගමන්ගත් කැබ් රථයක නැගීි වැලිසර නාවික කදවුරේ රාජකාරි කර නිවෙස්බලා යමින් සිටි නාවික සෙබලූන් දෙදෙනෙකු ගමන් කිරීම හේතුවෙන්.

ඒ අතර සිටි එක් නාවික සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගැනීමත් සමගයි මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන සේවයකයින් තිදෙනා මෙලෙස පි.සි.ආර් පරික්ෂණයට යොමුකර ඇත්තේ. මාගාල්ල තෙල් ගබඩාව විෂබිජ හරණයට ලක්කල බව ද ගාල්ල වරාය පොලීසිය පැවසුවා.

ගාල්ල, හිනිදුම ප‍්‍රදේශයේ පුද්ගලයින් 15 දෙනෙකු ද අද ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනවා. මෙම පිරිස වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කර ඇති නාවික හමුදා සෙබළියක් සමග සම්බන්ධතා පැවැත්වු පවුලේ ඥාතින් වනවා.

නිවාඩු ලබා ඇය නිවසට පැමිණ ඇත්තේ තී‍්‍රරෝද රථයකින් වන අතර එහි රියදුරු ද ස්වයං නිරෝධායනයට ලක්කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

වැලිසර නාවික කදවුරේ රාජකාරි කර නිවාඩු ලබා නිවෙස්වලට පැමිණි අහංගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි නාවික සෙබලූන් තිදෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් 15 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

ඔවුන් තිදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර එම පරික්ෂණවලදි මෙම නාවික සෙබලූන් තිදෙනාට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි තිබෙනවා.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් වි සිටි නාවලපිටිය ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබලූන් දෙදෙනෙකු සමීපව ඇසුරු කළ පවුලේ සාමාජිකයන් ද ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පවුල් කිහිපයක්ද ස්වං නිරෝධානයට යොමු කෙරුණා. ඒ, අදාළ සෙබලූන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.

(Neth)