Thursday, October 31, 2024
Follow Us
ජනතාව උපරිම කැපකිරීම කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ වේගය වැඩි කරන්න - GMOA

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා ජනතාව උපරිම කැපකිරීම් කරමින් සිටින මොහොතේ සෞඛ්‍ය අංශ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වේගය වැඩිකර, පරීක්ෂණ තවදුරටත් කාර්යක්ෂම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

පෙරේදා (24) දිනයේදී PCR පරීක්ෂණ 1000ක් දක්වා සිදුකිරීම සතුටුදායක නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි උපරිම යන්ත්‍ර ප්‍රමාණය තවමත් ඊට යොදාගෙන ඇතිද යන ප්‍රශ්නය මතුව බවයි එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ.

"පරීක්ෂණ ආක්‍රමණශීලී ලෙස කිරීමත්, එහෙමත් නැත්නම් හඹාගොස් පරීක්ෂණ කිරීමත් නිතර පරීක්ෂණ කිරීමත් කියන කාරණා තමයි මෙහිදී වැදගත් කියලා අපි පෙන්වලා දීලා තියෙන්නෙ. ඒනිසාම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට පෙර කළයුතු කාරණා කිහිපයක් පෙන්නලා දීලා තියෙන්නෙ.

ඒ තමයි මේ පරීක්ෂණ වේගවත්ව සිද්ධ කිරීම, පරීක්ෂණ කිරීමේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩිකරන්න, පරීක්ෂණ අවස්ථා වැඩිකරන්න, එතකොට අපි කිව්වා නිරෝධායනයට ලක්වෙන පිරිස් පරීක්ෂණයට ලක් කරන්න, මේ ස්පර්ශකයින් පරීක්ෂාවට ලක් කරන්න, ඒවගේම අනතුරුදායක කණ්ඩායම් රෝග ලක්ෂණ තියෙන කණ්ඩායම් පරීක්ෂණයට ලක් කරන්න. මෙවැනි නිශ්චිත ක්‍රමවේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදත් පුන පුනා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවසමින් ඉන්නවා.

ඒ වුණත් අපි දැක්කා 24 දිනයේදී පරීක්ෂණ 1000කට ආසන්න ප්‍රමාණයක් කර තිබීම සතුටුදායක තත්වයක්. නමුත් තවමත් ලංකාවේ මේකට ප්‍රයෝජනයට ගතහැකි සියලුම PCR පරීක්ෂණ යන්ත්‍ර ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට පරීක්ෂණ සඳහා යොදාගෙනද කියන ගැටළුව පැන නඟිනවා.

ඒනිසා අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා රට සාමාන්‍ය තත්වයට පත් කරන්න ජනතාව තමන්ගේ උපරිම කැපකිරීම කරන්න සූදානම්ව සිටින වෙලාවෙ ඔවුන් ඒ සඳහා කැමැත්ත පළකරලා තියෙන වෙලාවෙ අපි සෞඛ්‍ය අංශ හැටියට පරීක්ෂණ කිරීමේ වේගය වැඩිකළ යුතුව තියෙනවා. ඒ හරහා අපි දැන් වුණත් දකිනවා විශාල ප්‍රමාණයෙන් පරීක්ෂණ කළොත් තමයි රෝගය තියෙන ප්‍රදේශවල විශාල වශයෙන් රෝගීන් හඳුනාගන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)