කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
වෛරසය සම්බන්ධයෙන් වර්තමානයේදී තිබෙන තත්වය අනුව ඒ පිළිබඳව කිසිදු පුරෝකතනයක් සිදුකළ නොහැකි වී ඇති බවයි අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ. වෛරසය පාලනය කර ඇති බවට රජයේ බලධාරීන් පවසා ඊළඟ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු පවසනවා.
රජය විසින් රටතුළ අවදානම් කලාප, දැඩි අවදානම් කලාප, අවදානම අඩු කලාප යනුවෙන් එක් එක් ප්‍රදේශ නම්කර ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් එයද භයානක වියහැකි බව හරිත අලුත්ගේ මහතා පවසනවා. එසේ ප්‍රදේශ වෙන් කිරීමට නම් අදාල ප්‍රදේශවල තෝරාගන් පුද්ගලයන් පිළිබඳව හෝ පරීක්ෂණ සිදුකළ යුතු බව පෙන්වා දෙන අලුත්ගේ මහතා පවසන්නේ රජය විසින් දෛනිකව සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි.
ඇතැම් නොදියුණු අප්‍රිකානු රටවල් පවා ශ්‍රී ලංකාවට වඩා පරීක්ෂණ සිදුකර ඇති බවත්, සමාන ජනගහනයක් සිටින වියට්නාමය ශ්‍රී ලංකාව මෙන් 24 ගුණයක් හා නවසීලන්තය ශ්‍රී ලංකාව මෙන් 40 ගුණයක් පරීක්ෂණ සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. එම රටවල් සාර්ථක වී ඇත්තේ ආසාදිතයන් හඳුනා ගන්නා පරීක්ෂණ වැඩි කිරීමෙන් බවයි අලුත්ගේ මහතා පවසන්නේ.
(LNW)