Thursday, October 31, 2024
Follow Us
පාඩු පිට දුවන්න බෑ..අමතර මුදලක් ඕනෑ – පුද්ගලික බස් හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලයි

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් නොඑසේ නම් ධාවනයේ නොයෙදෙන බවත් කියා සිටියේය. තමා මේ බව ජනාධිපති ලේක්ම්වරයාට ද දැනුම් දුන්නේ යැයිද හෙතෙම කීවේය. මෙවැනි තීරණ ගැනීමේදී අනිවාර්යයෙන්ම නීති පද්ධතියක් සම්පාදනය කළ යුතු බවත් නොඑසේ නම් මගීන් වැඩිපුර ප්‍රවාහනය කරන බස්රථ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත් හෙතෙම ප්‍රශ්න කර සිටී.

මීට අමතරව අධි අවදානම් කලාපවල බස් රථ ධාවනය සඳහා යෝජනාවක් කරන සභාපතිවරයා දින 60 ක කාලයක් තුළ ක්‍රමිකව ධාවනය වන බස්රථ සංඛ්‍යාවත් මගීන් සංඛ්‍යාවත් වසංගත තත්ත්වයද සැලකිල්ලට ගනිමින් වැඩි කළ යුතු බව කියා සිටී. කෙසේ නමුත් පාඩු පිට කිසිසේත්ම බස් රථ ධාවනය නොකරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

(Lanka Leads)