Thursday, October 31, 2024
Follow Us
කොළඹ ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය ගැන යළි සලකා බැලෙන්නත් පුළුවන් - සෞඛ්‍ය අධ්‍යක්ෂ

ඊයේ දිනයේ කොටහේන බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිට, දැනට නිරෝධායනයේ සිටි අය අතරින් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීමත් සමඟ අප්‍රේල් 22 වනදා කොළඹ ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ තීරණය රජය යළි සමාලෝචනය කිරීමටත් ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

"මේ රෝගීන් 15 දෙනා වාර්තා වීමත් සමඟ - මෙවැනි වාර්තා වීම් මීට කලිනුත් වාර්තා වුණා - සමහරවිට මේ කොළඹ තත්වය නැවත සමාලෝචනය කරන්න පුළුවන් රජය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"රට විවෘත කිරීමට ඉක්මන් වුණා වැඩිද කියන කාරණය සමාජ මාධ්‍ය ජාලවල සහ විද්වතුන් ඇතුළු විවිධ පිරිස් අවංකවම ප්‍රකාශ කරනවා මම දැක්කා. නමුත් මෙතන තියෙන්නෙ අපි රටක් හැටියට මේක විවෘත කරන්නෙ කවදාද කියන තීරණය ගන්න ඕනෙ. එතකොට මේ විවෘත කිරීමේ අවස්ථාව සාපේක්ෂ වශයෙන් කලින් ගත්තා කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්, තව ප්‍රමාද වුණා නම් ප්‍රමාද වුණා කියලාත් කෙනෙකුට කියන්න පුළුවන්. ඉතිං මෙහෙමයි, අපට දැන් තියෙන්නෙ මේ ගනිපු තීරණය තුල ඉඳගෙන ඊට මුහුණ දෙමින් කටයුතු කිරීම.

අපි මෙතෙක් කල් මේක අතෑරියෙ නෑ, කටයුතු කළා දිගටම. එහෙම නම් අපි දැන් මෙතනින් එහාටත් මේ අලුත් තත්වයන් යටතේ ක්‍රියා කිරීම තුළ අපට මේ රෝගය පාලනය කිරීමේ සියලු ක්‍රියාමාර්ග ගන්න වෙනවා. හැබැයි මෙහිදී ජනතාව, විශේෂයෙන් ආයතන ප්‍රධානීන්, ඒ සංවිධානවල වගකීම අතිවිශාලයි. විශේෂයෙන්ම මේ ලිහිල් කරලා තියෙන ජන ජීවිතය තුළ මේක සම්පූර්ණ ලිහිල් කිරීමක් නෑ. ඔබට බලාගන්න පුළුවන් අපෙ උපදෙස් අනුව ඇතැම් ආයතන විවෘත වන්නේ නෑ. ලංකාවෙ කිසි තැනක විෂබීජ පැතිරවිය හැකි තත්වයක් තියෙන ආයතන විවෘත වන්නේ නෑ. ඒවගේම ජනතාව ඔබමොබ යෑමට සීමාවන් පනවලා තියෙනවා. මේක කලින් ලිහිල් කළා කියලා කණගාටු වෙනවා නම් ඒ අය සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනෙ මේ ක්‍රියාකාරීත්වය, මේ පාලනය කිරීම සම්පූර්ණයෙන් යෙදවීමට" යනුවෙන් ද ප්‍රකාශ කළේය.

(LNW)