Wednesday, October 30, 2024
Follow Us
ඊයේ හමුවූ කොරෝනා රෝගීන් හය දෙනාම පවුල් දෙකකට අයිති අයයි - සෞඛ්‍ය අධ්‍යක්ෂ

ඊයේ (17) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් හය දෙනාම පවුල් දෙකකට අයත් පුද්ගලයින් බවත් ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

"ඇත්ත වශයෙන්ම සාධනීය තත්වයක් තියෙනවා. ඊයෙ දිනය ගත්තොත් අපට වාර්තා වෙන්නෙ 6 දෙනෙක්. මේ හය දෙනා පවුල් දෙකක්. ඒ කියන්නෙ තුන් දෙනෙක් පූනානි මධ්‍යස්ථානයේ ඉඳලා හමුවුණ මවයි දරුවන් දෙදෙනායි. ඒ මවගේ සැමියාට තමයි කලින් මේ ආසාදනය ඇතිවුණේ, ඔහු ඇත්ත වශයෙන්ම පිළිකා රෝගියෙක්. අර මහරගම අපේක්ෂා රෝහලේ ඔහු ගිහින් යම්කිසි සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්වුණා අපේක්ෂා රෝහලේ. අන්න ඔහුගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා තමයි පුනානි මධ්‍යස්ථානයෙන් හමුවුණේ.

එතකොට ඒවගේම තවත් තිදෙනෙක් හමුවුණා. වැලිසර නිරෝධායනයේ යෙදෙන අය. එහිදී ඇත්ත වශයෙන්ම කොටහේන ප්‍රදේශයේ පෙරේදා දිනයේ කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගත් කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ පුත්තු දෙදෙනා. ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නෙම මේක යම්කිසි වළල්ලක් තුළ සීමා කරගැනීමට අපට හැකිවෙලා තියෙනවා. පාලනය කළ තත්වයක් කියන්නෙ ඒකයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (18) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)