ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 20 ඉක්මවා තිබෙනවා. ඒ අනුව දැනට වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 134 ක්.
දැනට ලොව පුරා රටවලින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 26,757 ක් ලෙස දැක්වෙනවා. මෙලෙස ලොව පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ශ්‍රී ලංකාව නව කොරෝනා වෛරස ව්‍යාප්ති අවධානමේ උපරිම මට්ටම පසුකරමින් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.
ඉකුත් කාලසීමාවේදී රජය ගනු ලැබූ නිවැරදි තීරණ හේතුවෙන් රට තුළ නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමට හැකිවූ බව ද ඔහු සඳහන් කළා.
දැනට හමුවන කොරෝනා ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වාර්තා වන අතර ඒ අනුව රටතුළ මෙම වෛරසය පැතිරීම අවම මට්ටමක පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
ඊයේ දිනයේදී පමණක් තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී හඳුනා ගැනුණා. ඉන් 08 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූ ස්විට්සර්ලන්ත දේවගැතිවරයා පැවැත්වූ දේවමෙහෙයට සහභාගි වුනු යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
ඊයේ හඳුනා ගැනුණු කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනා සමග මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගියා. මේවනවිට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 165 ක්. කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 07 ක්.
(Neth)