Wednesday, October 23, 2024
Follow Us
රාජ්‍ය සේවා ගෙද­ර­දීම කර­ගන්න ඩිජි­ටල් රාජ්‍ය පෝරම

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම නිවෙසේ සිටම සිදු කළ හැකි ආකාරයට ඩිජිටල් විසඳුමක් සලසමින් ‘ඩිජිටල් රාජ්‍ය පෝරම’ (Digital Government Forms) හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර සලසාගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කරගත හැකි ඩිජිටල් විසඳුමක්, ‘ඩිජිටල් රාජ්‍ය පෝරම’ නමින් හඳුන්වා දී තිබේ. පරිගණක, ජංගම දුරකතන, ටැබ් ආදි උපාංග ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මේ සේවාව සදලසාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මේ ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන 9ක් කේන්ද්‍ර කරගනිමින් 2022 වසරේදී සාර්ථකව දියත් කර තිබෙන අතර සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබාගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින්ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.

ජනතාවට කාර්යාල වෙත නොපැමිණ නිවෙසේ සිටම සේවා සලසාගැනීමට හැකි වීම නිසා කාලය මෙන්ම මුදල්ද ඉතිරි වන අතර, පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවා ඉතා කාර්යක්ෂම හා ඵලදායි ආකාරයෙන් ජනතාවට සැලසීමට මෙමඟින් හැකියාව ලැබේ. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන්ම සේවා සැපයීමේදී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ පහසුවද මේ ඔස්සේ හිමි වේ.

කඩදාසි භාවිතයෙන් තොර වීම නිසා පරිසර හිතකාමි රාජ්‍ය සේවාවකටද මඟ පෑදෙන අතර, කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින්ද රාජ්‍ය සේවා නිදහස් වේ. පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින්ම ලබා ගතහැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීමද මෙයින් ඇති වාසියකි.

තවද 2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහා අන්තර්ජාලය මඟින් ආකෘති පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයිද එම පුරවැසියන්ගෙන් 75%ක් පමණ මේ ඩිජිටල් විසඳුම පිළිබඳ තෘප්තිමත් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

පුරවැසි සේවා කාර්යක්ෂමව සහ ඵලදායිව සැලසීම වඩාත් අර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි. ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම පිළිබඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවිසීමෙන් සපයාගත හැකිය.