Wednesday, October 23, 2024
Follow Us
සෞඛ්‍ය ඇමති මාධ්‍යයෙන් කළ ඉල්ලීම

බෝ නොවන  රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා   ඉල්ලීමක් කිරීමට  තීන්දු කළ බව  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්  කළේ ඊයේ  (07) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ  වාර්ෂික සමාජ සත්කාර  උත්සවයට සහභාගි වෙමිනි.

ජීවත් වීමේ ආයු කාලය වැඩි වීමත් සමඟ අපිට තිබෙන බෝ නොවන රෝග තර්ජනය වැඩි වී තිබෙන බව ද ඒ නිසාවෙන් අධීරුධිර පීඩනය, දියවැඩියාව, පාර්ෂවික අඝාතය, හෘද අකර්මණ්‍ය, වකුගඩු රෝග හා පිළිකා රෝග ප්‍රභල ලෙස ඇති වී තිබෙන බවත්  ඒ නිසා දියවැඩියාව පාලනය කිරීම යන කාරණාව මතභේදාත්මක හා සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ...

“2020 වර්ෂයේ දී 10500 දෙනෙක් වකුගඩු රෝග ආශ්‍රිත රෝග නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. ගිය වසරේ ඩෙංගු රෝගයෙන් 72 කගේ ජීවිත නැති වෙලා තියෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් වසරකට 10500 කගේ ජීවිත නැති වෙනවා. ඒ වගේම තවත්  ගැඹූරු කාරණයක් තියෙනවා වසරක‌ට 12000 කගේ ජීවිත මාර්ග අනතුරු නිසා නැති වෙනවා. මාසයකට 1000 කට ආසන්න වශයෙන් දිනකට  35 දෙනෙකු මිය යනවා. අපේ රටේ ප්‍රධාන නාලිකාවල පළමු වන ප්‍රධාන විනාඩි 25 වෙන්කර තිබෙන්නේ මිනීමැරැමක්, ඝාතනයක්, අපචාරයක්, දුෂණයක්, දේශපාලඥයකුගේ කට කැඩිච්ච කතාවක් වැනි දේවල් වලට ඒක රටේ අවාසනාව.අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න කියලා අපිට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මාර්ගෝපදේශන ලබා දෙන්න.”

“ශ්‍රී ලංකාව ප්‍රභල බෝ නොවන රෝග අවධානමකට ලක්වෙමින් තිබෙනවා. මහාචාර්ය මන්දික විජේරත්න මහතා සදහන් කලා වගේ, නිදන් ගත වකුගඩු රෝගයට දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කාරණය ලෙස සැලකෙන පාලනය නොකල දියවැඩියාව වැඩිහිටි ජනගහනයෙන් 1/3 කට ඇති වෙලා තියෙනවා. ආසන්න වශයෙන් වයස 35 කට වඩා වැඩි ජනතාවගෙන් 35% - 40% දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම ප්‍රතිශතයයි. ජනගහනයෙන් 20% - 25% අවුරුදු 25 ට වඩා වැඩි අධික රුධිර පීඩනයෙන් පෙලෙනවා. ඒක ආසියානු ශාන්තිකර කලාපයේ මේ රෝගී තත්වයෙන් වැඩිම ප්‍රමාණයක්.”

වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් 5000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර මළු හා සෞඛ්‍ය හිමිකම් රක්ෂණ හා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සදහා මුල්‍යාධාර සහ වකුගඩු රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට, 2024 වර්ෂය සදහා දින දර්ශනයක් එළිදැක්වීමට ද සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මෙහිදී පියවර ගන්නා ලදී.