Wednesday, October 23, 2024
Follow Us
කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ  ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කළ බවත් මෙම පාර්සල්  ජර්මනිය සහ එංගලන්තය සිට  කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණද සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම පාර්සල්  තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක්, කුෂ් නැමැති ගංජා විශේෂය ග්‍රෑම්  1740 ක් සහ එම්පෙතමින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්  29 සොයා ගත් බවත් අත්අඩංගුවට ගන්නා ලද  මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවත්  අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මෙම වැටලීම ශ්‍රී ලංකා රේගුව  මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා තැපැල්  දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලැබුණු බවද සඳහන් කළේය.

පරීක්ෂණ කටයුතු අවසානයේ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය  මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය බවද අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Lankadeepa