Wednesday, October 23, 2024
Follow Us
පසුගිය වසර 03 තුළ කිරි අල, බතල හා මඤ්ඤොක්කා ගෙන්වා නැහැ

මෙරටට පසුගිය වසර තුන තුළ කිරි අල, බතල හා මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව අවධාරණය කරයි.

2022 වසරේ දී ඩොලර් මිලියන 295ක් වැය කරමින් මෙරටට එළවළු හා පලතුරු විශේෂයෙන් කිරිඅල, මඤ්ඤොක්කා හා බතල පවා ආනයනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කර තිබු ප්‍රකාශය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කරන ලදී.

ඒ අනුව එම කාරණය සම්බන්ධව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

එම කාරණයට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය විසින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ (04) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබා දී ඇත.

ඒ අනුව 2020, 2021, 2022 වර්ෂවල දී මෙරටට කිසිදු අයුරකින් කිරිඅල, බතල, මඤ්ඤොක්කා ආනයනය කර නොමැති බව එම වාර්තාව අවධාරණය කරයි.

නමුත් මෙරටින් අදාල වර්ෂ තුන තුළ කිරිඅල, බතල හා මඤ්ඤොක්කා අපනයනය කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේ මඤ්ඤොක්කා මෙට්‍රික් ටොන් 1203ක්, කිරි අල මෙට්‍රික් ටොන් 04ක් හා බතල මෙට්‍රික් ටොන් 81ක් අපනයනය කර තිබේ.

කිරි අල අපනයනය මගින් 2020 දී රුපියල් මිලියන 01ක් හා 2021 හා 2022 වර්ෂවල දී රුපියල් මිලියන 02ක් හා 03ක් වශයෙන් ආදායම් ලබා තිබේ.

බතල අපනයනය ගත් කළ 2020 දී රුපියල් මිලියන 36ක් ද, 2021 දී රුපියල් මිලියන 50ක් හා 2022 දී රුපියල් මිලියන 82ක් ලෙස ද වාර්තා වී ඇත.

මඤ්ඤොක්කා අපනයනය මගින් අදාල වර්ෂ තුන තුළ පිළිවෙළින් රුපියල් මිලියන 650ක්, රු. මි. 698ක් හා රුපියල් මිලියන 1203ක් වශයෙන් ආදායම් ලබා ඇත.

තක්කාලි ආනයනය කර ඇති අතර එසේ ආනයනය කර ඇත්තේ ඇතැම් සෝස්වර්ග, ජූස් වර්ග හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වර්ග සකස් කිරීම සඳහා ය. නමුත් තක්කාලි අපනයනය 2020 දී මෙට්‍රික් ටොන් 67ක්, 2021 දී මෙට්‍රික් ටොන් 88ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 76ක් වශයෙන් බව ද දක්වා ඇත.

එළවළු බීජ 2020 මෙට්‍රික් ටොන් 1955, 2021 මෙට්‍රික් ටොන් 1701ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 2363ක් ආනයනය කර ඇත.

මේ අතර රේගු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති දත්ත අනුව 2023. 01. 01 දින සිට 2023.11.22 දක්වා වූ කාලය තුළ ද මෙරටට කිරි අල, බතල හෝ මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැත.

සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සඳහා සහ වෙනත් ආශ්‍රිත නිෂ්පාදන සඳහා කොමඩු හා වම්බටු ආනයනය කර ඇත. පැනි කොමඩු 2020දී මෙට්‍රික් ටොන් 08ක්, 2021දී මෙට්‍රික් ටොන් 02ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 09ක් ආනයනය කර ඇත.

නමුත් පැනි කොමඩු 2020 දී මෙට්‍රික් ටොන් 13ක්, 2021 දී මෙට්‍රික් ටොන් 10ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 10ක් ද වශයෙන් අපනයනය කර තිබේ.

වම්බටු මෙට්‍රින් ටොන් 03ක්, 02ක් හා 09ක් වශයෙන් අදාල වර්ෂ තුන තුළ ආනයනය කර ඇති අතර පිළිවෙළින් මෙට්‍රික් ටොන් 07ක්, 02ක් වශයෙන් 2020 හා 2021 වර්ෂවල දී අපයනය කර ඇත.

මෙරට වගා කළ හැකිව තිබිය දී කිරිඅල, බතල හා මඤ්ඤොක්කා වැනි අල වර්ග පවා මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වැය කළ බව සඳහන් කර තිබීම මෙම වාර්තාව අනුව මුළුමනින්ම අසත්‍ය බව පැහැදිළි වේ.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් දේශීය වශයෙන් වගා කළ හැකි සෑම දෙයක්ම මෙරට තුළ දීම වගා කිරීම සඳහා කටයුතු යොදා ඇත. ඒ යටතේ ඉදිරි වර්ෂය තුළ ද කාලගුණික බලපෑමක් එල්ල නොවුවහොත් අපිට අවශ්‍ය බෝග වර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ මේ වනවිටත් සකසා අවසන් කර තිබේ.