Wednesday, October 23, 2024
Follow Us
ආංශික අධික්ෂණ කාරක සභාවෙන්, ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන්ට උපදෙස්

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා(29) පාර්ලිමේන්තුවේදී රැස් විය. 

මෙදින කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණි. 

මෙහි දී තම ආයතනයේ කාර්යයභාරය පැහැදිලි කළ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) නිලධාරීහු,  තම ආයතනය විසින් පුද්ගලයින්ගේ හා ආයතනවල මූල්‍ය කටයුතු සිදු වී ඇති ආකාරය ගැන තොරතුරු පමණක් නිකුත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

ශ්‍රී  ලංකා ණය තොරතුරු කාර්යාංශය මගින් මේ වනවිට මෙරට බැංකු හා මුල්‍ය පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට දක්වන සේවය සභාපතිවරයාගේ  පැසසුමට ලක් විය.

කෙසේවෙතත්, බංකලොත් භාවයට හෝ ණය පියවීමට නොහැකි ආයතන සහ පුද්ගලයින්ට බැංකු මගින් ණය අනුමත කිරීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු බව සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. 

මහජන මුදල් එලෙස නාස්ති කිරීමට ඉඩ ලබාදීම කිසිසේත් සිදු කළ නොහැක්කක් බව පෙන්වා දුන් සභාපතිවරයා ආයතන සහ පුද්ගලයින්ට ණය අනුමත කිරීමේ දී ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව, ශ්‍රේණිගතකිරීම් අතුලත් වාර්තාවක් (Rating Report) ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නිර්දේශ ලබා දුන්නේය. 

ඒ සඳහා පනත සංශෝධනය කරමින් හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත් ව්‍යවස්ථාදායක ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහය ලබාදීමට බැඳී සිටින බවත් සභාපතිවරයා අවධාරණ‍ය කළේය.

මෙහි දී කාරක සභාව හමුවේ කරුණු දක්වමින්  ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ  නිලධාරීහු  මහජනතාව තුළ  ඔවුන්ගේ  ආයතනය පිළිබඳව (CRIB) නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වා දුන්හ. 

ඒ සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය. 

ඉදිරියේ දී CRIB යන යෙදුම වෙනස් කිරීමට ද අවධානය යොමුව ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ අතර ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීහු ද තමන්ගේ ආයතනයේ කාර්යයභාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලදී. 

රාජ්‍ය සේවකයින් උදෙසා පමණක් ණය ලබාදෙන ආයතනයක් ලෙස තවදුරටත් ඔවුන්ගේ ණය අරමුදල වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා විය. 

ඒ අනුව 2024 වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ණය ලබාදීමේ වැඩසටහනකට යොමු වන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.  එම ඉලක්ක වලට ළඟාවීමට ඔවුන්ගේ ආයතන පනත වහාම සංශෝධනය කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කරන ලෙසත් කාරක සභා සභාපතිවරයා තවදුරටත් උපදෙස් ලබා දුන්නේය.