Wednesday, October 23, 2024
Follow Us
​​නත්තල් තැපැල් මුද්දර ද්විත්වයක් එළිදකී

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, තැපැල් මුද්දර චිත්‍ර තරඟය තුළින් තෝරා ගන්නා ලද චිත්‍ර දෙකක් ඇසුරෙන් නිර්මාණය කරන නත්තල් තැපැල් මුද්දර ද්විත්වය නිකුත් කිරීම පුංචි බොරැල්ල, ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙහිදී මුද්දර ද්විත්වයක් සහ මුල්දින කවරයක් නිකුත් කෙරුණු අතර නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා විසින් එහි පළමු මුද්දර ද්විත්වය සහ මුල්දින කවරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත එහිදී පිළිගන්වනු ලැබීය.

තැපැල් මුද්දර චිත්‍ර තරඟයේ විවිධ වයස් කාණ්ඩ යටතේ ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් වෙත සහතික හා මුදල් ත්‍යාග පිරිනමන ලද අතර, ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ ගායනා කණ්ඩායමේ කැරොල් ගායන කණ්ඩායම මෙහිදී උත්සවය වර්ණවත් කළහ.

කතෝලික රදගුරු සම්මේලනයේ ජනසන්නිවේදන කොමිසමේ සභාපති හා කොළඹ සහයක රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ඇතුළු පියතුමන්ලා, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චතුරි පිංතු යන මහත්ම මහත්මිහු සහ අමාත්‍යාංශ නිලධාරිහු, දරු දරියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ