Wednesday, October 23, 2024
Follow Us
රාඡ්‍ය ආයතන වලින් සේවා ගන්නා මහඡනතාවට සමානව සලකන්න

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස්.

• රාඡ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා මැඩපැවැත්වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන්න - පළත් ප්‍රධානීන් කාරක සභාවෙන් ඉල්ලයි.


රාඡ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහඡනතාවට සමාන අයුරින් සලකා අවශ්‍ය සේවා කටයුතු සිදු කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට බස්නාහිර පළාතේ නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රධානීන් කැඳවා තිබුනහ.
සියලුම රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන්නේනම් සේවා ලබා ගැනීමට පැමිණෙන කිසිදු පුද්ගලයෙකු අපහසුතාවයට පත් නොවන බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රාඡ්‍ය ආයතන වල දුෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන ලෙස මෙහදී පළත් ප්‍රධානීහු කාරක සභාවෙන් ඉල්ලීමක් කළහ.

අදාළ රාජ්‍ය ආයතන සඳහා විවිධ සැළසුම් වර්ග අනුමත කරගැනීම සඳහා පැමිණෙන පිරිස් වෙත ඒවා පරික්ෂා කර බලා අනුමැතිය ලබාදීමට කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකසන ලෙස කාරක සභාව මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම මහජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන අසම්පූර්ණ ලිපිගොනු භාර නොගැනීමටත් සම්පූර්ණ ලිපිගොනු භාර ගැනීම තුලින්, මතුවන බොහෝ ගැටලු ප්‍රමාණයක් වළක්වා ගත හැකි බවද කාරක සභව පෙන්වා දෙන ලදී.
මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ජේ. සී. අලවතුවල, චමින්ද වි‍ජේසිරි, (නීතිඥ) උදයන කිරිඳිගොඩ, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) මධුර විතානගේ, ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.