Wednesday, October 23, 2024
Follow Us
වැඩිවන ඩෙංගු මඩින - පස් දින වැඩසටහනක්

වැසි සහිත කාලගුණයක් ගැන අසන්නට ලැබෙන විට ගංවතුර , නායෙ යෑම් වැනි ජීවිත අවදානම් ගෙනෙන ස්වභාවික  ව්‍යයසන ගැන අපට සිහියට නැගෙන්නෙ නිතැතින්මයි. නමුත් මෑත කාලයේ දී එවැනි කාළගුණ තත්වයක් ගැන ප්‍රවෘතියත් සමඟම අප මතකයට නගාගත යුතු එවැනිම තවත් අවදානමක් තිබෙනවා. ඒ සීග්‍ර ඩෙංගු ව්‍යාප්තියක අවදානමයි.

 

මේ වතාවේත් ඔබට ඩෙංගු අවදානම ගැන සිහිකැඳවීමක් කරන්නට අපට සිදුවී තිබෙන්නේ, පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම දිස්ත්‍රික්ක රැසකම ඉහළ යමින් පවත්නා පසුබිමක් තුළයි.

ඔබ කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ජීවත්වෙන කෙනෙක්නම් ඔබ ඩෙංගු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් මේ වනවිට උද්ගත වී තිබෙනවා. ඒ වාගේම ඊසාන දිග මෝසම වර්ධනයත් සමඟම ඉදිරියේ දී උතුරු හා නැගෙනහිර පළාත්වලටත් මේ අධි අවදානම් තත්වය ව්‍යාප්ත වන්නට විශාල ඉඩකඩක් තිබෙනවා.

මීට කඩිනම් පිළියමක් වශයෙන්  හඳුනාගත් අධි අවදානම් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් ආවරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. මුල් දින දෙකෙහි කීට විද්‍යා පරික්ෂා සිදු කරමින් ඩෙංගු අවදානම අධික ස්ථාන සාක්ෂි සහිතව හඳුනාගැනීමත්, සියලුම පාර්ශව සම්බන්ධ කරගනිමින් එම අවදානම් ස්ථාන නිවරදි කර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමත් දින දෙකක් තුළ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් මෙම පස් දින කඩිනම් වැඩසටහන් මාලාවේ සුවිශේෂී ලක්ෂණයක්. දැනටමත් මේ හරහා දිස්ත්‍රික් රැසක් ආවරණය කොට තිබෙන අතර ඉතිරි අවදානම් දිස්ත්‍රික් සියල්ලටම මෙම ව්‍යාෘතිය නුදුරේම ව්‍යාප්ත කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

එවැනි ජාතික මට්ටමේ මැදිහත් වීම් වලට අමතරව මේ ඩෙංගු අවදානමෙන් ජීවිත රැකගන්නට වාගේම රැක දෙන්නට වගකීම් සහගත පුරවැසියන් ලෙස ඔබේ වගකීම සහ ඔබ විසින් කළයුතු දේ පිළිබඳව මේ වනවිට අමුතුවෙන් කියන්නටත් අවශ්‍ය නැතිතරම්.

පවත්නා තත්වය හමුවේ නිවසෙන් පිටත වගේම නිවස ඇතුළතත් මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවාදැයි නිතර පරීක්ෂා කරමින් ඒවා විනාශ කිරීම නැවතත් වැඩි අවදානයකින් කරන්නට අපට සිදු වී තිබෙනවා. නිවාසවලට අමතරව ඉදිකිරීම් ස්ථාන, පාසැල්, ආගමික ස්ථාන, ප්‍රජාශාලා වැනි පොදු ස්ථානවල ඇතුලත සහ පිටත අවදානම් තැන් සොයා පරීක්ෂා කිරීමේ වගකීම ඒ ආයතනවල භාරකාර මෙන්ම භාවිතාකරන පිරිසටත් පැවරෙනවා.

මදුරුවන් බෝවෙන ස්ථාන එලෙස විනාශ කරන අතරතුර පැය 48 ක කාලයක් පවත්නා උණ තත්ත්වයකදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය උපදෙස් පැතීම, උණට පැරසිටමෝල් ඖෂධය පමණක් ගැනීම, නියම කෙරෙන රුධිර පරීක්ෂණ යන ආදිය අනිවාර්යෙන්ම සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අපේ ජීවිත ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන් ම ගත යුතු ක්‍රියාමාර්ග වෙනවා. ඔබ ගර්භණී මවක් නම් සහ උණ තත්ත්වයක් ඇත්නම් පළමු දිනයේදීම රෝහලක් වෙත යොමු වීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා.

දැනුවත් ප්‍රජාවක් ලෙස මින් පෙර අවස්ථාවලදී ඩෙංගු උවදුර මර්දනය කර ගැනීමට දැනුමෙන් සන්නද්ධව සක්‍රීයව දායක වූ පරිදිම මෙවරත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වනු ඇති බව අප විශ්වාස කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය