Wednesday, October 23, 2024
Follow Us
ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් ඇරඹේ 

ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (26) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරිණි.

ඊට සමගාමිව බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීම ද සිදු වූ අතර, සෞඛ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙතෙක් පළාත් මහ රෝහලක්ව පැවැති බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. තව ද  රෝහලේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම  සහ රෝහල් කාර්ය මණ්ඩල ඇගයීමේ සම්මාන ද පිරිනමන ලදි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉදිකිරිම් කටයුතු වසර දෙකක් ඇතුලත එනම්  2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතව ඇත. මෙහි ඉදිරිකිරිම් කටයුතු CECB ආයතනයෙන් සිදු කරනු ලබයි. කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකකයේ ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා කටයුතු සඳහා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අනුයුක්ත කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ එකොලොස් වන වෛද්‍ය පීඨය බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කොට ඇති අතර ‍ මෙම වෛද්‍ය පීඨයට ඇතුලත් වන වෛද්‍ය සිසුන්ගේ උපාධි පාඨමාලා කටයුතු සඳහා මේ වන විට මහාචාර්ය ඒකකයක් නොමැති වූ බැවින් වත්මන් රජය මහාචාර්ය එකකයක් ඉදිකිරීමට ද තීරණය කරන ලදී. මෙම වෛද්‍ය පීඨයට පලමු වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු 2024 ලබන වසරේ ‍පෙබරවාරි මස බඳවා ගැනෙන අතර, ඔවුන්ගේ 04 වන වසරේ අධ්‍යාපනික කටයුතු අවසන් කර මෙම නව මහාචාර්ය ඒකකය තුල අවසන් වසර අධ්‍යාපනික හා පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වාසය පල කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව විශ්ව විද්‍යාලයේ පලමු කුලපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇත.

මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ පූර්ණ ආශිර්වාදය  මත  වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද කුමාර, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අජිත් මෙන්ඩිස්, බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න, ඌව විශ්ව විද්‍යාලයේ කුලපති විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගිත්වයෙන් සිදු කරන ලදී