Wednesday, October 23, 2024
Follow Us
ප්‍රසම්පාදන කටයුතු විධිමත් වන තුරු හදිසි මිලදී ගැනීම්  සම්පූර්ණයෙන් නවතී

මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ සමහර ගැටලු  හේතුවෙන්  හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා  තිබෙන බව  සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට‌ විනිවිදසුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස  අමාත්‍යවරයා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය. 

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

  ''මෙරට සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම සදහන් කරන කාරණයක් තමයි අඩු පිරිවැයකින් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මේ රටේ පවතින බව. එය ශක්තිමත් කිරිම සහ ඉහළට ගෙන යාම අපේ වගකීමක් වෙනවා. මාතෘ මරණ, ළදරු මරණ, එන්නත් වැඩපිළීවෙල ඇතුලු කාරණා රැසක ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් තිබෙනවා. හොද දර්ශක ලබාගෙන තිබෙනවා. අනාගතයේ දී මෙරට ට බලපාන ගැටලු  රැසක් තිබෙනවා. ඒ අතර බොනොවන රෝග, අනතුරු වළක්වා ගැනීම ප්‍රධාන කරුණක් වෙනවා. හදිසි අනතුරු නිසා වර්ෂයකට 12,000 ජිවිත රටට අහිමි වෙනවා. දිනකට ජිවිත 35 නැති වෙනවා. ඒ සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය ආයතන සමග කටයුතු කිරීමට විශේෂ අවධානය යොමු කර වැඩ කර ජනතාවගේ ජිවිත ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙනවා.” 

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම, ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරිම  කෙරෙහි අවධානය යොමු කරමින් සියළු ජනතාවට එහි ප්‍රතිඵල ලබාදෙමින් තෘතියික සේවාවන් හි තිබෙන ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන මහ රෝහල්, ශික්ෂණ රෝහල් ඇති රෝහල්වල කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරිමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“සෞඛ්‍ය ලේකම්ධූරය සදහා පාලිත මහීපාල මහතා පත්කිරීම  විශේෂත්වයක්. මෙම තනතුරට පත්වීමට ප්‍රථම එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පකිස්ථාන රජයේ නිත්‍ය නියෝජිත තනතුරේ කටයුතු කරනු ලැබුවා. බුද්ධි ගලනය පිළිබදව කථිකාවතක් ඇතිව තිබෙන අවස්ථාවක එතුමා මෙරට සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල චේතනයක්, පිළිගැනීමක් රැකියාවක් අතහැර පැමිණ තිබෙනවා. මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙන එතුමාගේ විශේෂඥ දැනුම සමග සෞඛ්‍ය සේවාවේ සියළු කණ්ඩායම් සමග මෙරට සෞඛ්‍ය සේවාවේ මතු උන්නතිය, ස්ථාවරභාවය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළ හැකි වෙතැයි විශ්වාස කරනවා.”