Wednesday, October 23, 2024
Follow Us
මෙරට තිබෙන්නේ සෞඛ්‍ය සේවාව අග්නිදිග ආසියාවේ හොඳම සෞඛ්‍ය දර්ශකයක්

රටවල් ගණනාවක සෞඛ්‍ය සේවාවන් පිළිබදව කටයුතු කර තමන් ලත් අත්දැකීම් මත එම රටවල සෞඛ්‍ය දර්ශක සමග ‌මෙරට සෞඛ්‍ය සේවාව සංසන්දය කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව අග්නිදිග ආසියාවේ හොදම සෞඛ්‍ය දර්ශක තිබෙන රට ලෙස පෙන්වා දිය හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

  සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව ඊයේ  (23) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති  විශේෂ මාධ්‍ය හමුවේදීය. 

 ආසියානු කලාපයේ ජපානයට පසු වැඩිම උපතේ දී ආයුකාලයක් තිබෙන රට ලංකාව බවත්,  වසර 30 කට පසු ලෝකයේ රටක් මැලේරියාව තුරන් කළා කියන පළමු රට සහ ලෝකයේ ප්‍රතිශක්තකරණය සියයට 99 ට වඩා තිබෙන රටක් තිබෙනවා නම් ඒ ශ්‍රි ලංකාව බව ද  සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පැවැසිය. 

 මෙහිදී වැඩිදුුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා , 

“ළදරු මරණ අනුපාතිය උපත් 1000 කට 6 යි, මාතෘ මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට 28 යි. මෙම තත්ත්වය එක්සත් රජධානියේ බ්‍රිතාන්‍යයේ අගයට හා සමානයි. නමුත් අපි වියදම් කරන මුදල් ප්‍රමාණය ඉතා අඩුයි. උපතේ දී ආයු කාලය කාන්තාවන් සදහා අවුරුදු 80 දක්වා වැඩි වී තිබෙනවා. සාමාන්‍ය අවුරැදු 76 ක් 77 ක්. අපේ සෞඛ්‍ය දර්ශක සෞඛ්‍ය පද්ධතිය හා ඒ හරහා ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. යම් යම් ගැටලු  තිබුනත්  මෙම පද්ධතිය කඩාවැටීමකට ලක්ව නැහැ. සෞඛ්‍ය පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙනවා. රෝග නිවාරණය අතින් රෝග කිහිපයක් තුරන් කර තිබෙනවා. මැලේරියාව 2016 වසරේ දී තුරන් කළා. එහි සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලබාදුන්නා. බරවා රෝගය තුරන් කිරීමේ අවස්ථාවට අපි ලගා වුණා. සරම්ප රෝගය තුරන් කළා. දැන් ජලභිතිකාව තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. තුරන් කළා සේම එම තත්ත්වය දිගින් දිගටම එලෙස තබා ගැනීම අත්‍යාවශයයි. ඊයේ රෝග නිවාරණ අංශය සම්බන්ධව සමාලෝචනයක් කළා.  සියයට 99.5 ක් ප්‍රතිශක්තීකරණ ආවරණය දැනටත් තිබෙනවා. රෝග නිවාරණ සහ ප්‍රතිකාර අංශය ඉතා හොදින් ක්‍රියාත්මකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත් ප්‍රධාන ඉළක්කයක් වන්නේ කොපමණ සෞඛ්‍ය සේවා ආවරණයක් ලබාදෙනවා ද යන්නයි. ඒ අනුව මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශ දෙක මත රටක නිරෝගිමත් ජනතාවක් බිහි වෙනවා. පසුගිය සතියේ හෙද පත්විම් 2500 ක් ලබාදුන්නා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 307 කට පත්වීම් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ජනතාවගෙන් 10,000  කට එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්  ලබාදීමේ දර්ශකය ඒ අනුව අපි සපුරනවා. අනෙක් මානව සම්පත් අංශයේ පත්වීම් ලබාදීමටත් කටයුතු සුදානම් කොට තිබෙනවා.” 

“පසුගිය කාලය ප්‍රතිසමාලෝචන කටයුතු සදහා වෙන් කළා. ඖෂධ මිලදී ගැනීම්, ඖෂධවල ගුණාත්මකභාවය වැනි කටයුතු පිළිබදව සතියකට වරක් ඊට සම්බන්ධ සියළුම ආයතන ගෙන්වලා  ගුණාත්මක ඖෂධ ලබාදීම පිළිබදව සමාලෝචනයක් කරනවා. වෘත්තීය සමිති සමග ගැටලුවකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව පසුගිය මාසයක කාලය තුළ විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා.”