Thursday, October 24, 2024
Follow Us
උතුරු නැගෙනහිරට විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක්

මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ස්ථානය විශේෂ අවශ්‍යතා සහිත සහ දෘශ්‍යාබාධිත සිසුන් අධ්‍යාපනය ලබන පාසලක්, නේවාසිකාගාර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ඇතුළු විශාල පිරිසක් ගැවසෙන, ජනාකීර්ණ අවදානම් සහිත ස්ථානයක් බැවින් විශේෂ ආරක්ෂාවක් සහිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවැතිණි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ග්‍රාමීය මාර්ග පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 110ක වියදමින් මෙම විශේෂ ආරක්ෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කරන ලද්දේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසිනුයි. උතුරු නැගෙනහිර පළාත් තුළ ප්‍රථම වරට ස්ථාපිත කර ඇති මෙම විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතියට නවීන පහසුකම් කිහිපයක්ම ඇතුලත් කර තිබෙනවා. විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මාර්ගය හරහා මාරු වීමේදී කෙටි කාලයක් තුළ වාහන නතර කිරීම සඳහා සංඥා පහන් දැල්වෙන ආකාරයටත්, දෘශ්‍යාබාධිත පිරිස් වෙනුවෙන් විශේෂිත ලෙස සැලසුම් කරන ලද නාද සංඥා පද්ධතියක්ද මීට ඇතුළත්. මීට අමතරව සුදුසැරයටි මගින් හඳුනාගත හැකි පරිදි පදික වේදිකාව විශේෂිත සංඥා සහිත බිම් ඇතුරුම් ගල් මඟින් නිර්මාණය කිරීමට ද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සැලසුම් කර තිබෙනවා.