Thursday, October 24, 2024
Follow Us
මෙරට කිරි කර්මාන්තය සංවර්ධනයට  තාක්ෂණික ආයතනයක් 

මෙරට කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා USAID ආයතනයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත්  කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීමේ දී අවදානය යොමු කළ යුතු අංශ සම්බන්ධව පෙරේදා ( 29) අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Charlie Bell මහතා සහ ඉන්දු - පැසිපික් ව්‍යාපෘතියේ නියෝජිත Dion M. Schoorman යන මහත්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළහ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ගොවි ජනතාව ඊට හුරු කිරීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, උසස් බීජ විශේෂ දේශීය වශයෙන් පුළුල් කිරීම, දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි කාලානුරූපව වගා කටයුතු සඳහා ගොවීන් උනන්දු කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම අපේ රටේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික ආයතනයක්  Dairy Technology Institute පිහිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය ආධාර ලබා ගැනීම සදහා අමාත්‍යවරයා ව්‍යාපෘති වාර්තාවක් USAID නියෝජිතයින්ට බාර දුන්නේය.

එමෙන්ම රට ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට  ලක් වු අවස්ථාවේ දී USAID ආයතනය විසින් ගොවින් සඳහා අවශ්‍ය  රසායනික පොහොර මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දීමට ගත් පියවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇගයීමට ලක් කළේය.

 ශ්‍රී ලංකාව පැවැති දුෂ්කර  ආර්ථික වාතාවරණයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටින බවත්, ඒ සඳහා රජයේ කැපකිරීම අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා USAID මගින් ලබා දෙන සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවත් ජ්‍යෙෂ්ඨ උපදේශක චාර්ලි බෙල් මහතා මෙහිදී  පැවසීය.