Wednesday, October 30, 2024
Follow Us
කුකුළු කර්මාන්තය අවදානමක - මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 ට අඩුවෙයි

කුකුළු පාලනයට අවශ්‍ය මව් සතුන් ආනයනය කරන ප්‍රමාණය 80,000 සිට 10,000 දක්වා පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ පවතින තත්ත්වය මත කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳ සතුටු විය නොහැකි බවයි.

පසුගිය සමයේ කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන අංශයෙන් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත තත්ත්වයට ළඟා වී තිබුණා. එහෙත් වර්තමාන ආර්ථික අර්බුදයත් සමඟ සත්ව ආහාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල සහ ඖෂධවල මිල ඉහළ යාමත්, කුකුළු පාලනයට අවශ්‍ය මව් සතුන් ආනයනය සීග්‍රයෙන් පහත වැටීමත් හේතුවෙන් එම කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

පවතින තත්ත්වය මත මෙම කර්මාන්තය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් වැඩසටහනක් සකස් කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඊට එක් විසඳුමක් ලෙස සත්ව ආහාර සඳහා යොදාගන්නා බඩඉරිඟු හා සෝයා රට තුළම නිපදවන වැඩපිළිවෙල මෙම කන්නයේ සිට අරඹන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිගු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්ට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා. සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක් අවශ්‍ය වනවා.

ඒ අනුව බඩඉරිඟු මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 25,000 ක් ආනයනයට ඉකුත් වසරේ බලපත්‍ර නිකුත් කර තිබුණා. එහෙත් පසුගිය ජුනි මස අග වන විට මෙරටට ආනයනය කර ඇත්තේ බඩඉරිගු මෙට්ට්‍රික් ටොන් 38,000 ක් පමණයි. ඊට හේතුවී ඇත්තේ විදේශ විනිමය අර්බුදයයි. පවතින තත්ත්වය මත මේ වන විට දේශීය වෙළඳපොලේ බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා.

Neth