පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක්
බඩඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යාම ඇතුළු කාරණා හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 75 ක් දක්වා ඉහළ යාහැකි බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් පැවසීය.
පාලන මිල යටතේ බිත්තර කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි බවද ඔහු කීවේය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48 ක වියදමක් දැරීමට බිත්තර කර්මාන්තයේ නිරත පිරිසට දැරීමට සිදුවී ඇති බවත්, ඒ අනුව පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
බිත්තරයක් රුපියල් 48 කට වෙළෙඳසලේ අලෙවි කිරීමට නම් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 36 කටවත් ලබාදිය යුතු බවත්, නමුත් සත්ව ආහාර, ජල, විදුලි, කම්කරු ගාස්තු ඉහළ ගොස් ඇති නිසා, ගොවිපොළේ බිත්තරයක නිෂ්පාදන වියදම පමණක් රුපියල් 48 ක් බවත් ඔහු පැවසීය.
මෙම තත්ත්වය මත බිත්තර දාන සතුන් පවා මස්වලට අලෙවි කිරීමට ඇතැම් කුකුළු ගොවිපොළ හිමියන් කටයුතු කරන බවද ඔහු කීවේය.
බිත්තර කර්මාන්තය කඩා වැටීම නිසා වෙළෙඳපොළට ලැබෙන බිත්තර ප්‍රමාණය අඩුවන බවත්, මේ නිසා අනිවාර්යයෙන්ම බිත්තර මිල ඉහළ යන බවත් මහාචාර්යවරයා පවසයි.
සත්ත්ව ආහාර සඳහා බඩඉරිගු යොදන්නේ ශක්ති ජනක සංඝටකයක් ලෙස බවත්, දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ දැමීමට යැයි පවසා පසුගිය කාලයේදී බඩඉරිඟු ආනයනය නතර කිරීමත් සමග රසායනික පොහොර ආනයනය ද තහනම් කෙරුණු බවත්, ඒ සමග බඩඉරිඟු මිල ඉහළ ගිය බවත් ඔහු කීවේය.
බඩඉරිඟු වෙනුවට සහල් යොදාගත හැකි වුවත්, සත්ත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීම තහනම් කරමින් වෙළෙඳ අමාත්‍යාංශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය. සෑම දෙයකටම නීති යොදා පාලනය කිරීමට නොහැකි බවත්, තනි තනිව තීරණ නොගෙන සියලු ආයතන ඒකරාශිවී තීරණ ගත යුතුව ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේය.
බිත්තර මිල සඳහා පාලන මිලක් නියම කිරීම සේම සහල් සත්ත්ව ආහාර සඳහා නිකුත් කිරීම තහනම් කිරීමට පෙර බිත්තර නිෂ්පාදකයන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් විමසීමට තිබූ බවද ඔහු පැවසීය.
බිත්තර දමන කිකිළියන්ගේ මව් සතුන් අසූ දහසක් (80,000) පමණ වසරකට සිටියද, අද වන විට මව් සතුන් සිටින්නේ හතළිස් පන්දහසක් (45,000) පමණ යැයිද මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් කීවේය. මේ වසරේ මව් සතුන් සඳහා පැටව් ආනයනය කර ඇත්තේ දස දහසකි. ඉදිරියේදී කුකුළු පැටවෙකුගේ මිලද ඉහළ යා හැකි බවද ඔහු කීවේය.
Aruna