Wednesday, October 30, 2024
Follow Us
විහාරස්ථාන අඳුරේ තැබීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කැමැත්තෙන්

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රාත්‍රී කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අඩු විදුලි පරිභෝජනයක් ඇති විහාරස්ථාන සියල්ලම පාහේ නිසිකලට විදුලිබිල ගෙවා දමන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිවූ විදුලි ගාස්තුවට එරෙහිව විහාරස්ථාන අඳුරේ තබන බවට සිදුකර ඇති ප්‍රකාශවලට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ අතර ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලී නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මහ නා හිමිවරුන් පෙන්වා දෙන්නේ මහජන සුබසිද්ධිය අරමුණු කර ගත් සාරධර්ම හා අධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන දායකත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එවැනි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ ගැඹුර අවබෝධ කර ගෙන අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස විහාරාධිපති වහන්සේලා දැනුවත් කරන බවත්, ශිෂ්‍ය පිරිස් හා දායකයින් ද ඒ සඳහා උනන්දු කරවීමට බොහෝ විහාරස්ථාන මගින් කටයුතු කරන බවත්, ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

Neth