දවසකට සුරාබදු මිලියන 400ක් රටට අහිමි කරයි
දූෂණ අක්‍රමිකතා හේතුවෙන් දිනකට රුපියල් මිලියන හාරසියයක සුරාබදු ආදායමක් රටට අහිමි කරන සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල්වරයා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන එම සංගමය පෙන්වා දෙන්නේ දැඩි විනයක් ඇති අවංක පුද්ගලයකු එම තනතුරට පත් කළ යුතු බවයි. තවද සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් සොයා බලා ඔවුන්ගේ වත්කම් පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
සුරාබදු ආදායම විවිධ ක්‍රම මගින් අහිමි කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ කොමිසමක් මගින් විමර්ශනයක් කරන ලෙස සංගමයේ සභාපති අජිත් උඩුගම පෙන්වා දෙයි. මත්පැන් බෝතල සඳහා ආරක්ෂිත ස්ටිකර ඇලවීමේ නීතියද අකුරට ක්‍රියාත්මක නොකරන අතර කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයක් නිපදවන මත්පැන් දකුණු පළාත තුළ ස්ටිකර් නොමැතිව බෙදා හරින බවටද සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. උතුරු පළාතටද ආරක්ෂිත ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් අලෙවි කිරීමට මත්පැන් නිෂ්පාදනාගාරයක් කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනද නතර වී ඇති බව සංගමය පෙන්වා දෙයි.
දූෂණ හා වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කාර්මික අපරාධ වාර්තා ලෙස ඉදිරිපත් කරන ලෙසද සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සුරාබදු නිලධාරින්ට දැනුම් දී තිබේ. එම නිසා නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අකමැත්තක් ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
Aruna